රහස් ප්‍රකාශයට තාඹුගලට අවසර ලැබේ

98

සිය සේවාදායකයාට එරෙහිව එල්ල වී තිබූ චෝදනා සම්බන්ධයෙන් නීතිමය පියවර නොගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනකු රුපියල් කෝටි 30ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක මුදලක් ලබාගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතාට ලබන 24 වැනිදා මහෙස්ත්‍රාත්වරයා හමුවේ රහස්‍ය ප්‍රකාශයක් ලබාදීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඊයේ (18දා) පස්වරුවේ අවසර ලබා දුන්නේය.

මින් පෙර ද කර තිබූ එම ඉල්ලීම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු තහවුරු කිරීම ඊයේ (18දා) පස්වරුවේ මහෙස්ත්‍රාත් නිල මැදිරියේදී කැඳවූ අවස්ථාවේදී එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න කළ කරුණු දැක්වීම් සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා සැකකාර විරංජිත් තාඹුගල මහතාට එම අවසරය ලබා දුන්නේය. වත්මන් මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා පවා ලංකාවේ පොලිස් ස්ථාන පිංතාරු කරදෙන ලෙසට සිය සේවාදායකයාගෙන් ඉල්ලා ඇති බවත් ඒ සඳහා වැය වන ඇස්තමේන්තුව ලබාදෙන්නේ නම් සිය අවුරා ලංකා සමාගම මගින් එම පිංතාරු සිදුකිරීම කරදිය හැකි බවත් සිය සේවාදායකයා මහජන ආරක්‍ෂක අමාත්‍යවරයාට පවසා ඇති බැව් සැකකාර තාඹුගල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපාලි ජයමාන්න මහතා ඊයේ (18දා) අතිරේක මහෙස්ත්‍රාත්වරයාට පවසා තිබිණි. කෙසේ නමුත් මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා ඉන්පසු ඒ සම්බන්ධයෙන් සිය සේවාදායකයාගෙන් යළි ඉල්ලීමක් කිරීම හෝ ඔහු ඉල්ලා සිටි ඇස්තමේන්තුව ලබානොදීම අනුව අමාත්‍යවරයා අපේක්‍ෂා කර ඇත්තේ ඒ සඳහා වැය වන මුදල් බවට සිය සේවාදායකයාට හැඟී ගොස් තිබූ බවද නීතිඥ උපාලි ජයමාන්න මහතා සිය කරුණු දැක්වීම මගින් අතිරේක මහෙස්ත්‍රාත්වරයාට කියා තිබිණි. පෙර කී කරුණ හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුගෙන් අල්ලස් ඉල්ලා සිටීම යන කරුණු අනුව ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි සිය සේවාදායකයාට කිසිදු විශ්වාසයක් නොමැති බැවින් මහෙස්ත්‍රාත්වරයා හමුවේ රහස්‍ය ප්‍රකාශයක් ලබාදීමට සිය සේවාදායකයාට අවසර දෙන්නැයි ද නීතිඥ උපාලි ජයමාන්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment