රාජගිරියේ අනතුර: චම්පිකට එරෙහි නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂි විභාගය හෙට සිට

149

නොසැලකිලිමත් ලෙස හා අපරික්‍ෂාකාරීව රිය පදවා තරුණයකුට බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පවරනු ලබන නඩු කටයුත්තකදී පාවිච්චි කිරීමේ අරමුණින් අසත්‍ය සාක්‍ෂි ගෙතීම ඇතුළු අධිචෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල හා තුසිත දිලූම් කුමාර යන විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂි විභාගය හෙට (2 දා) ආරම්භ කිරීමට කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (30 දා) දින නියම කළේය.

එකී නඩුව සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක හා සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව සම්බන්ධයෙන් පිළිතුරු දේශනය හෙට නඩු විභාගය ආරම්භ කිරීමට පෙර පැවැත්වීමට පැමිණිල්ල මෙහෙයවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාට අවසර දීමට ද විනිසුරුවරයා එහිදී තීරණය කළේය.

නීතිපතිවරයා විසින් සිය සේවාදායකයන් දෙදෙනා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර නඩු පවරා ඇත්තේ එකී රිය අනතුර සම්බන්ධයෙන් දෙවන විත්තිකාර රියැදුරු, මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගෙන නඩු පැවරීමෙන් අනතුරුව වන බැවින් නීතිපතිවරයාගේ නඩු පැවරීම නීති විරෝධි වන්නේ යැයි පළමු හා දෙවන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ද අනිල් සිල්වා හා ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න යන මහත්වරු අධිකරණයට පෙන්වා දුන්හ.

මේ අතර 2016.02.28 වැනිදා රාත‍්‍රි රාජගිරිය ප‍්‍රදේශයේදී සිදුවූ එම රිය අනතුර වළක්වා නොගැනීම, ඒ සම්බන්ධයෙන් පොලිසියට වාර්තා නොකොට පලායෑම ඇතුළු අධිචෝදනා යටතේ පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ අනෙක් නඩුව සම්බන්ධයෙන් ද විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාව සම්බන්ධයෙන් නියෝගය ලබන පෙබරවාරි 3 වැනිදා නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා තීරණය කළේය.

එම විත්තිකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මූලික විරෝධතා ඉදිරිපත් කළ නමුත් දෙවන විත්තිකාර පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු ලෙස කටයුතු කළ දෙවන විත්තිකාර තුසිත දිලූම් කුමාර වෙනුවෙන් කිසිදු මූලික විරෝධතාවයක් ඉදිරිපත් නොකිරීම විශේෂත්වයක් විය. සිය සේවාදායකයා එකී සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා හමුවේ විශේෂ රහස්‍ය ප‍්‍රකාශයක් සිදුකර ඇති බැවින් නඩු පැවරීම සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් ඉදිරිපත් නොකරන බව නීතිඥ ශාලික ගුණවර්ධන මහතා අධිකරණයට පැවසීය.

රජයේ අධිනීතිඥ මල්ෂා මාධවලගම මෙනවිය හා රජයේ අධිනීතිඥ ශෂිකලා කුමාරි මෙනවිය සම`ග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වීය.

ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment