රාජ්‍ය සේවක වැටුප් විෂමතා විසඳනවා- ජනපති

67

රට ඇවිදින්න පටන් ගත්තා පමණයි

‘ලෙස්ලි දේවේන්ද්‍ර සිංහාවලෝකනය’

රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආර්ථික වශයෙන් වැටී තිබූ රට දැන් දෙපයින් නැගිට ඇවිදීමට පටන් ගත්තා පමණක් යැයි පැවසූ ජනාධිපතිවරයා රටක් ලෙස තවත් බොහෝ දුර යෑමට ඇති බවත් ඒ සඳහා වෘත්තීය සමිති ව්‍යාපාරය ද කාලීන වෙනස්කම්වලට බඳුන් වෙමින් ඉදිරියට පැමිණිය යුතු බවත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, දේශබන්දු ලෙස්ලි දේවේන්ද්‍ර මහතාගේ වෘත්තීය දිවියට හැට වසරක් සැපිරීම නිමිත්තෙන් ‘ලෙස්ලි දේවේන්ද්‍ර සිංහාවලෝකනය’ මැයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 29 වැනිදා පැවැති උත්සවයට එක් වෙමිනි.

රට ඉදිරියට ගෙන යෑමේ වැඩපිළිවෙළ වෙනුවෙන් වූ සියලු වෘත්තිකයන්ගේ අදහස් සංවාදයට බඳුන් කිරීම සඳහා මෙන්ම අනාගතයට ගැළපෙන ශ්‍රමිකයා නිර්මාණය කිරීම වෙනුවෙන් “සේවක කේන්ද්‍රයක්” ඇති කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා ආණ්ඩුවෙන් වාර්ෂිකව මුදලක් වෙන් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

බැංකු ක්ෂේත්‍රය ඇතුළු මූල්‍ය ආයතනවල රජයේ ශක්තිය තබා ගෙන රට ඉදිරියට ගෙන යෑමේ රජයේ සැලසුම් පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට මූල්‍ය අංශයේ ස්ථාවරත්වය පවත්වාගෙන යෑම වෙනුවෙන් 2027 වන තෙක් විදේශ ණය නොගෙවා සිටීමට අවස්ථාව ලබාගෙන ඇති බව ද සඳහන් කළේය.

එසේම රාජ්‍ය ආයතන සඳහා දේශපාලන පත්වීම් මත අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම වැළැක්වීමට නව නීති ගෙන එන බව ද සඳහන් කළ ජනාධිපතිවරයා නිසි සැලැස්මක් ඔස්සේ රටේ ආර්ථිකය දියුණු නොකළහොත් රටට අනාගතයක් නොමැති බව ද සඳහන් කළේය.

මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරය වෙනුවෙන් දේශබන්දු ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ඉටු කරන මහඟු මෙහෙවර මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා ඔහු සෑම විටම සමාජ යථාර්ථය හඳුනා ගනිමින් නවීකරණය සමග ඉදිරියට යෑමට කටයුතු කළ බව ද සඳහන් කළේය.

දේශබන්දු ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ඇගයීමට ලක් කරමින් සමරු තිළිණයක් ප්‍රදානය කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment