නෙදර්ලන්තයෙනුත් කිකිළි බිත්තර

252


දැනට රට තුළ පවතින කුකුළු මස් හා බිත්තර හිඟයට විසඳුම් ලබා දීම සඳහා මව් කිකිළියන් වෙනුවට රක්කවන ලද බිත්තර 176,000ක් නෙදර්ලන්තයෙන් ආනයනය කිරීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් කටයුතු යොදා ඇත.
මෙම රක්කවන ලද බිත්තර සතියකට 44,000 බැගින් මාසයක කාලයක් තුළ ගෙන්වීමට නියමිත බව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය ඒච්. ඩබ්. සිරිල් මහතා පවසයි.
කුකුළු මස් හා බිත්තර හිඟය තුරන් කරලීම සඳහා ගත යුතු පියවර සම්බන්ධව සාකච්ඡාවක් අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති අවස්ථාවේදී ඒ මහතා මේ බව හෙළි කළේය.
මව් කිකිළියන් ආනයනය කිරීම මගින් බිත්තර හා පැටව් ලබා ගැනීම ප්‍රමාද වන බැවින් රක්කවන ලද බිත්තර ආනයනය කිරීම සිදු කරන බව ද සභාපතිවරයා පැහැදිලි කළේය. එමගින් මාසයක් වැනි කෙටිකාලයක් තුළ බිත්තර හා මස් පිණිස කුකුළන් ලබා ගැනීමට පහසුවන හෙයින් මෙසේ රක්කවන ලද බිත්තර ආනයනය කිරීමට තීරණය කර ඇතැයි ද කීවේය.
නෙදර්ලන්තයේ සිට ආනයනය කෙරෙන මෙම බිත්තර 176,000ක තොගය මගින් ලැබෙන කුකුළු පැටවුන් පසුගිය කොරෝනා වසංගත සමයේ දී වැසීගිය පුද්ගලික අංශයේ කුකුළු ගොවිපොළ වෙත සහන මිලක් යටතේ ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment