රාවණා දැහැණින් වැඩගත් අවුඩංගාවේ ගුරුකම් හාමුදුරුවෝ

3492
අවුඩංගාව පිහිටා තිබෙන්නේ, සීගිරියට ගව් 02කටත් අඩු දුරකින් පේන තෙක් මානයේ ය. අවුඩංගාවට කිලෝමීටරක පමණ දුරින් පිහිටා තිබෙන්නේ, කොළඹ-මඩකළපුව හෙවත් A 6 මාර්ගය යි. මෙහි සඳහන් කරන පුරාවෘත්තය මට දැනගන්නට හැකි වුණේ අදින් අඩ සිය වසරකට පමණ පෙර මා සීගිරියේ පුරාවිද්‍යා වැඩබිමෙහි සේවය කරන කාලයේ, අවුඩංගාව, නාගලවැව සහ පිදුරංගල යන ගම්වල හිතවතුන් සමඟ එදා (1974-1984) කළ කතාබස් මතකයේ රඳවා ගනිමිනි. අවුඩංගාව ගමෙන් ද එදා හත් අට දෙනෙක් සීගිරියේ පුරාවිද්‍යා වැඩබිමට සේවයට පැමිණි බව මතක ය. එම හිතවතුන් අතර, අවුඩංගාවේ උන්ඩියේ ගෙදර මුදලිහාමි, එල්.කේ. මුතුබණ්ඩා බාසුන්නැහැ මෙන්ම නම් අමතකව ගිය හිතවත් වැඩිහිටියන් ද කිහිපදෙනෙකි. මේ කතාබහට එක්වෙන වැඩිහිටියන් අතර මගේ පෙර ලිපියක සඳහන් කළ නාගලවැවේ හිතවතුන්ද වේ. නාගලවැවේ සිට අවුඩංගාවට දුර සැතපුම් එක හමාරක් පමණ වේ.

ආචිබෝල්ඩ් කෑම්ප්බෙල් ලෝරිගේ A Gazetteer of the Central province of Ceylon (vol; ii) ග්‍රන්‍ථයට අනුව, 1871 වසර වනවිට නාගලවැව සහ තවත් ගම් කිහිපයකටම ගම්මුලාදෑනි වසම වූයේ අවුඩංගාව ගම්මුලාදෑනි වසම යි. ඉහත නම් සඳහන්, මුදලිහාමි අත්තා සහ එල්.කේ. බාසුන්නැහැ අවුඩංගාවේ හොඳ කතාකාරයන්ය. මොවුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළ නිසාම ඔවුන් ඇසුරු කිරීමට මට ද හැකි විය. මා ඔවුන් හඳුනන්නේ පැටි අවදියේ සිටම ය. ඔවුන් අපේ වැඩිහිටියන්ගේ සමීප හිතවතුන් පමණක් නොව, මුදලිහාමි අත්තා, මගේ අත්තම්මා කළුමැණිකේ උපාසිකා මාතාවගේ මල්ලි ය.

ඔවුන් අප හා කී යම් යම් කතා පුවත්වලින් උකහාගත් දෑ තවමත් මගේ මතකයේ රෑඳී ඇත. එමෙන්ම යම් යම් ලේඛනවලින් ලබාගත් තොරතුරු ද මෙයට අන්තර්ග්‍රහණය කර ඇත. මේ වනවිට සම වයස් මගේ පැරණි හිතවතුන් බොහෝ දෙනකුම මෙලොව හැර ගොසින් ය.

දහවල් කෑම පැයට මනිය (Bell) ගහන තෙක් මට ඉවසිල්ලක් නැත. තම තමන්ගේ ගම්බිම්වල පැරණි කතා පුවත් ගැන පිළිසඳරේ යෙදෙන්නේ කෑම පැයේදී ය. අද ඔබ හමුවට ගෙන මේ කතා පුවත ද එවන් කෑම පැයක දී ඇසූ කතාවක් ය. මේ කතාව කීවේ එල්.කේ. බාසුන්නැහැ ය. කතාවට අඩු වැඩිය එක්කළේ නාගලවැවේ සහ පිදුරංගල හිතවතුන් ය. අවුඩංගාවේ පිරිස සීගිරියට පැමිණියේ නාගලවැව, ගුවන් තොටුපොළ හරහා ඇහැළගල අපේ ගම පසුකර ගෙන ය.

අවුඩංගාවේ ගුරුකම් හාමුදුරුවෝ

“….. අපේ ගමේ පන්සලට කියන්නේ මාගල්ලෙන පන්සල කියලා …..” එදා දිවා ආහාරයෙන් පසු එල්.කේ. බාසුන්නැහැ සීගිරියේ උතුරු දියාගලේ (දිය අගල) ගල් බැම්මක සකසුරුවම් ලෙස වාඩිවෙමින් කතාව ආරම්භ කළේ, බුලත් මඬිස්සලේට අත දමමින් ය.

“….. අපේ පන්සලේ කාලෙකට ඉස්සෙල්ල හිටියා හාමුදුරු නමක්….. මගේ වයසේ ඉන්න හුඟ දෙනෙක් මේ කියන හාමුදුරුවෝ දෑහින් දැකලා තියනවා. එතකොට ඕනෙ නම් අපිට අවුරුදු දහයක් දොළහක් ඇති. එතකොට උන්නාන්සේට තරුණ වයසේ අග්ගිස්සට කිට්ටු කරලා.

රාවණා දැහැණින් වැඩගත් අවුඩංගාවේ ගුරුකම් හාමුදුරුවෝ

මේ හාමුදුරුවන්ගේ සාමණේර කාලේ මුල් පන්සල පිදුරංගල විහාරේ….. උන්වහන්සේ, පිදුරංගල ඉඳලා මාගල්ලෙනට ආපු කතාවත් හරිම අපූරු කතාන්තරයක්….. මේ සිද්ධිය වෙන කාලේ, පිදුරංගල පන්සලේ නායක හාමුදුරුවන්ගේ නම මගේ මතකෙ හැටියට පුබ්බිලියේ ලොකු හාමුදුරුවෝ (පුබ්බිලියේ ශ්‍රී ගුණානන්‍ද හිමි) මේ සිද්ධිය වෙන කාලේ, උන්නාන්සේ ටිකක් වයසයි…. ඒ වුණාට වෙදකම් අතින්…. ගුරුකම් අතින් උන්වහන්සේට ගහන්න කවුරුත් මේ පැත්ත පළාතක හිටියේ නෑ. ඒ අතින් හරිම දක්‍ෂයි. උන්වහන්සේට කියන්නේ වෙද හාමුදුරුවෝ කියලා. පිදුරංගල පන්සලේ පුරණ වෙදකමට කීවේ, ගාලේවැවේ සර්වාංග වෙදකම කියලා…. ගාලේවැවේ නායක හාමුදුරුවෝ තමයි පිදුරංගල වෙදකම ආරම්භ කළේ (ගාලේවැවේ විපස්සි හිමි) ඉස්සෙල්ලා කියපු පොඩි හාමුදුරුවන්ට කියන්නේ ගුරුකම් හාමුදුරුවෝ කියලා. උන්වහන්සේ බණ කියනවාට වඩා, වෙදකම් කරනවාට වඩා කරන්නේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වැඩ. විසේසයෙන්ම කෙම්මුර දවස්වල නම් අම්මෙ මුත්තේ කිව්වත් පන්සලෙන් පිට යන්නේ නෑ. යකින්නගේ අව්ව පොළොවට වැටෙන කොට දේවාලේ ඇතුළට ගිහින් දොර වහගන්නවා. ආයෙ ඒ දොර ඇරෙන්නේ පහුවදා කුකුළා ඇඬලුවාටත් පස්සේ…..”

එල්කේ බාසුන්නැහැ කතාව රසවත්ව කියද්දී එහි අඩු වැඩිය සපයන්නේ, නාගලවැවේ සහ පිදුරංගල හිතවතුන් ය. නාගලවැවේ අය වඳින්න පුදන්න යන්නේ ද මෙම මාගල්ලෙන ලෙන් විහාරයට ය. නායක හාමුදුරුවන් වහන්සේ, සිය ගෝල හිමි නම වූ ගුරුකම් හාමුදුරුවන්ගේ වැඩපිළිවෙලට දක්වන්නේ දැඩි අකමැත්තකි. එයට හේතු වූයේ බොහෝ අවස්ථාවල ගුරුකම් හාමුදුරුවෝ පාංශකූලයකටවත් නොවඩින නිසා ය. සමහර අවස්ථාවල දෙදෙනා අතර වචන හුවමාරු වන අවස්ථාද ඇත.

“….. මොනවද පොඩි හාමුදුරුවනේ මේ වැඩවල තේරුම…? එළිවුණු අතේ ඉඳලා රෑ ජාමෙ වෙනකම් යන්තර මන්තර කට පාඩම් කරනව මිස බණක් දහමක් පාඩම්කර ගන්නේ නෑ….. ඔය ගුරුකම්වල හොඳ ඒවට වඩා තියෙන්නේ නරක ඒවා…. අපි මුළු දවසම ගත කරන්න ඕනෑ,…. අපේ දායකයන්ගේ සුබ සිද්ධිය ගැන බලන්න, අපිට තියෙන්නෙ අපේ විහාරස්ථානේ වැඩි දියුණුූ කරගෙන ඉන්න මිසක් හදි හූනියම් යන්තර, මන්තර ගැන හිත හිතා ඉන්න එක නම් නොවෙයි…..”

“….. ඉතින් නායක හාමුදුරුවනේ…. මේ ගුරුකම් අපේ ගුරු පරම්පරාවෙන් ලැබුණු දේවල්නේ. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලිනුත් වැඩ ගන්න අවස්ථාත් එමටයිනේ. කාට හරි උදව් පදව් කරන්න පුළුවන්නෙ…”

නිදානයෙන් හමුවූ රාවණා මුත්තාගේ ගුරුකම් පොත්

පන්සලේ තිබූ ගුරුකම් පුස්කොළ පොත්වලට අමතරව උන්වහන්සේට තවත් පුස්කොළ පොත් තොගයක් හමු වූ අපූරු පුවතක් එල්කේ බාසුන්නැහැ කීවේය.

පිදුරංගල පන්සලේ පොඩි හාමුදුරුවෝ හෙවත් ගුරුකම් හාමුදුරුවෝ, එක්තරා දිනයකදී අපූරු සිහිනයක් දුටුවේය. උන්වහන්සේ ඉදිරියේ සිටියේ ශ්වේත වර්ණයෙන් සැරසුණ, මුහුණ පුරා සුදු දිග රැව්ලක් වවාගත් තාපසයකු බදු වයස්ගත පුද්ගලයෙකි. ප්‍රතාපවත් හා ශාන්ත පෙනුමක් සහිත ඔහුගේ හිසේ සුදු තලප්පාවක් බැඳගෙන සිටි අතර එක් අතක සැරයටියක්ද අනෙක් අත රන් කෙණ්ඩියක් ද විය. කහ පැහැති පූන නූලක් ද කර පැළඳ ගෙන සිටියේ ය.

හාමුදුරුවෝ වෙත පැමිණ එකත්පස්ව සිට උන්වහන්සේ ඇමතූ මේ පුද්ගලයා මෙසේ කීවේය. “….. පිංවත්ත හාමුදුරුවනේ…. මට අද ඔබ වහන්සේට කියන්න වැදගත් කාරණයක් තියනවා. මම දැන් ඔබ වහන්සේ යම් ස්ථානයකට කැටුව යනවා. මේක ඔබ වහන්සේට උරුම දෙයක්….. මේ දෙය ඔබ වහන්සේට භාර දෙන්න සුදුසුම කාලයයි මේ…..” තාපසයා පෙරටු විය. සාමණේර හිමියෝ ඔහු පසුපසින් ගමන් කළේය. ටික දුරක් ගමන් කරන විට හාමුදුරුවන්ට නුදුරෙන් දැකගන්නට ලැබුණේ, සීගිරිය පර්වත රාජයා ය. විහාරස්ථානයේ සිට ස්වල්ප දුරක් ගෙවා, ගිය ඔවුන් දෙපොළ ගල්ලෙනකට ගොඩ විය. මොහොතකින් සිදුවූයේ අපූර්ව ආශ්චර්යාත්ත්මක සිදුවීම කි. ගල් ලෙනේ එක පසකින් වැසී තිබූ ගල් ද්වාරයක් ඇරී වැසී යනවාත් සමඟම සුදු පාට විශාල නාග රාජයෙක් එම ගල් දොරෙන් පිට විය. ඒ සැනෙන් ගල් දොර ඉබේම වැසී ගියේය.

“….. හාමුදුරුවනේ….. හෙට කුකුළා හැඬලූ පැයෙන් නැඟිට මේ ස්ථානයට වැඩම කරන්න. ඔබ වහන්සේ දැන් දුටු දේම ඒ මොහොතේදීත් සිදුවේවි. තෙරුවන් සිහිකර ඇරුණු දොරෙන් ඇතුළට යන්න එහි ඇති වස්තුවේ හිමිකරුවා ඔබ වහන්සේයි …..” පැවසූ තාපස තුමා අසුරු සැනින් අතුරුදහන් විය.

එල්කේ බාසුන්නැහැ සඳහන් කළ පරිදි, හාමුදුරුවෝ පසු දින කුකුළා හැඬලූ පැයෙන් අවදි වී මඳ අඳුරේම සිහිනෙන් දුටු මාර්ගය ඔස්සේ ගොස් ගල්ලෙනට පිවිසියේ ය. ඒ සමඟම වැසී තිබුණු ගල් දොරක් විවෘතවීමත් සමඟම, දැවැන්ත සුදු නාග රාජයෙක් එම ගල් ලෙනෙන් එළියට පැමිණ ක්‍ෂණයකින් නොපෙනී ගියේය. ගල් ලෙන පහන් දැල්ලුවාක් මෙන් ආලෝකවත් වී තිබුණි. තෙරුවන් සිහි කළ උන්වහන්සේ එම ලෙනට පිවිසියේ ය. ලෙන තුළ තිබුණේ පුස්කොළ පොත් කිහිපයක්, රත්‍රන් බුදු පිළිමයක් සහ රත්‍රන් දේව ප්‍රතිමාවකුත්, කිසියම් තෙල් අඬංගු මංජුසා කිහිපයක් ය. ලෙන තුළ තිබූ ගල් පොත්තක වාඩි වූ උන්වහන්සේ පුස්කොළ පොත් පරික්‍ෂා කළේය. ඒ රාවණා මුත්තාගේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ලියූ පුස්කොළ පොත් කිහිපය කි. ඒ අනුව මේ ප්‍රතිමාව රාවණා මුත්තාගේ ය. ප්‍රදේශවාසීන්, රාවණා රජතුමා හඳුන්වන්නේ රාවණා මුත්තා යනුවෙන් ය.

උන්වහන්සේ නැවත හමුවූ නිදන් වස්තූන් ද රැගෙන රහසේම ආවාස ගෙයි තමන්ගේ කුටියට පිවිසියේ ය. සාමණේර හිමියන් දැන් නිරන්තරයෙන්ම රැඳී සිටින්නේ සිය කුටියේ ය. සිය ගුරු හිමියන් සමඟ ද වැඩි කතාබහක් නැත්තේය. කුඩා හිමියන්ගේ කාමරය තුළින් වෙනදා නොමැති ශබ්ධ බද්ධ ඇසෙන්නේ ය. ප්‍රදේශවාසීන් නිරන්තරයෙන්ම විහාරස්ථානයට පැමිණෙන්නේ, පොඩි හාමුදුරුවන් ගෙන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්කර ගැනීමට ය. දැන් ගුරු ගෝල ගැටුම ද උත්සන්න වී ඇත. සති කිහිපයක් ගෙවී ගියේය. නිදානයෙන් හමුවූ සියලුම වස්තූන් රැගත් පොඩිහාමුදුරුවන් දිනක් හිමිදිරි පාන්දරම පිදුරංගල පන්සලෙන් එළි බැස්සේ ගුරු හිමියන්ට ද නොදන්වා ය.

පිදුරංගලින් අවුඩංගාවට

පොඩි හාමුදුරුවෝ ගව් දෙකකට ආසන්න දුර කතර ගෙන පැමිණියේ අවුඩංගාවට ය. ගමේ තිබෙන ගල් ලෙනක් සුද්ධ පවිත්‍ර කර ගෙන මිනිස් වාසයකට සුදුසු පරිදි සකස්කර ගත්තේ, ගම්වාසින්ගේ උදව් උපකාර ඇතිව ය. මෙම ගල්ලෙන ගැන උන්වහන්සේට හෝඩුවාවක් දුන්නේද ගුරුකමක් කර ගැනීමට අවුඩංගාවේ ගම් වැසියෙකි. ගල්ලෙන හඳුන්වන්නේ මාගල්ලෙන (මහ ගල්ලෙන) නමින් ය. පොඩි හාමුදුරුවන් දැන් ප්‍රදේශය පුර ප්‍රසිද්ධව සිටින්නේ, අවුඩංගාවේ ගුරුකම් හාමුදුරුවෝ නමින් ය.

ගල්ලෙන, විහාරස්ථානයක් බවට පරිවර්තනය කර ගැනීමටද උන්වහන්සේ කටයුතු කළ අතර, ඒ සඳහා තමන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කිරීමෙන් ලැබෙන මුදල් යෙදවූ බව එල්කේ බාසුන්නැහැ සඳහන් කළේය. රාවණා මුත්තාගේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඉතාමත් බලසම්පන්න ය. ඒවායේ තිබුණේ යකුන් යක්‍ෂණියන් ගෙන් පමණක් නොව පෙරේතයින්, කුම්භාණ්ඩයන් වැනි නොපෙනෙන ආත්මවලින් වැඩකර ගන්න ඒවා ය.

උන්වහන්සේ පන්සලේදී පමණක් නොව, පන්සලෙන් පිටතට ද ගුරුකම්වලට වැඩි අතර, අද මෙන් ගමනාගමන පහසුකම් නොතිබූ එම කාලයේ, මෙම කටයුතු සඳහා පිටට වැඩි පසු දින දෙක තුනක් නොවේ සතිය දෙක ද ගත කරන්නේය. දැන් හාමුදුරුවන්ට මෙවැනි කටයුතු සඳහා ආවතේවකරුවන් කිහිපදෙනෙක්ද සිටී. අවුඩංගාවට පැමිණි මුල් කාලයේ හාමුදුරුවන් ගමත් සමඟ සම්බන්‍ධතාවයක් පවත්වා ගෙන ගියත් පසුකාලීනව එය ක්‍රම ක්‍රමයෙන් අඩුවිය. පාංශකූලයකට, බණක් පිරිතකට නොවඩින තරම් ය.

දැන් අපේ දිවා ආහාර විවේකයෙන් ද විනාඩි හතළිස් පහක් පමණ ගෙවී ගොසින් ය. “…… ගුරුකම් හාමුදුරුවන්ගේ කතා නම් බොහෝමයි. ඒත් ගොඩක් කියන්න නම් වෙලාවක් නෑ. මම අදට එකක් කියන්නම්කෝ…..” එල්කේ බාසුන්නැහැ කීවේය.

හාමුදුරුවන්ගේ වෙඩිල්ල

එක්තරා දිනෙක හාමුදුරුවන් මුණ ගැසීමට තරමක් දුර ප්‍රදේශයක මැදි වයස පසුකරමින් සිටින විවාහක ජෝඩුවක් හැරමිටි වාරුවෙන් පැමිණ, තම පවුලට සිදුව ඇති නස්පැත්තියක් ගැන අඬමින් දුක කියන්නට විය. ඔවුන් දෙදෙනා අස්වැසූ හිමියන් අංජනමක් බලමින් ඔවුන්ට සිදුව ඇති වින්නැහිය ගැන කියා සිටියේ බලා සිටියාක් මෙනි.

අංජනමෙන් පෙන්නුම් කළේ, ළඟම ඥාතියකු ඉඩම් ආරාවුලක් නිසා, මේ පවුලේ සියලුම දෙනා විනාශ වෙන්නට කළ බලගතු කොඩිවිනයක් කර ඇති නිසා මෙම නස්පැත්තිය සිදුව ඇති බව ය. මෙම කොඩිවිනය කොයිතරම් බලගතු ද යත්, එකම වසරක් තුළ ගොවිතැන් බතක් කර ගෙන සිටි මේ වැඩිහිටි යුවළ අංශභාග රෝගී තත්ත්‍වයට පත්වුණ අතර, තරුණ වියට පත්ව සිටි පුතුන් තිදෙනකු මිය ගොස් ඇත්තේ රෝගයවත් හඳුනා ගැනීමටත් නොහැකිව ය. දියණියන් දෙදෙනෙකු ලෙඩ ඇඳේ ය. මොන තරම් බෙහෙත් කළත් බෙහෙත් ඇඟට අල්ලන්නේ නැත.

මොවුන් ගැන අනුකම්පා කළ ගුරුකම් හාමුදුරුවන් හැකි ඉක්මනින්ම මේ කොඩිවිනය ඉවත් කළ යුතු බවත්, එම නිසා ඉක්මනින් ආපසු එන ලෙසට උපදෙස් ලබා දී එදිනට ගෙන ඒමට අවශ්‍ය අඩුම කුඩුම ලැයිස්තුවක්ද ලබා දුන්නේය. වැඩිදුරටත් උපදෙස් දෙමින් කියා සිටියේ, කෙම්මුර දිනයක යක්කු ගස් යන වෙලාවට හෙවත් රෑ දොළහට සොහොන් පිට්ටනියේ මිනී වළක දපා මෙම කොඩිවිනය ආපසු කැපීම ආරම්භ කර, කුකුළා පළමුවරට හඬලන මොහොත වනවිට කොඩිවිනය ආපසු කැපීම නිම කළ යුතු බවය.

රාවණා දැහැණින් වැඩගත් අවුඩංගාවේ ගුරුකම් හාමුදුරුවෝ

කතාකරගත් පරිදි කෙම්මුර දිනයක හූනියම කැපීම ආරම්භ කිරීමට පෙර උන්වහන්සේ සිය ආවතේවකරුවන් ද දැණුවත් කළේය. “…..තුවක්කුව ලෑස්තිකරලා තියා ගනින්. මම වළෙන් නැඟිටලා අයේම මන්ත්‍ර ජපකොරන ගමන්, මගේ හැරමිටියෙන් පොළොවට අනිනවා. එතකොටම උඹ අහසට වෙඩි තියපන්…..” කියා උපදෙස් දුන්නේය. “…..හූනියම් කොරපු අපරාධකාරයා කොයි දීපංකරේ හිටියත් වෙඩිල්ල වැදිලා කම්මුතු වෙනවා…..” උන්වහන්සේ වැඩිදුරටත් කීවේය.

සිදුවිය යුතු දෙය ඒ ආකාරයෙන්ම සිදුවිය. ගුරුකම් හාමුදුරුවෝ සිය අතවැසියෙක්, අකරතැබ්බයට මුහුණ පෑ වැඩිහිටියා සමඟ ඔහුගේ නිවසට යැව්වේ සිදුව ඇති දෙය ඇති සැටියෙන්ම දැනගැනීමට ය. වැඩිහිටි පුද්ගලයාගේ නිවස අසළට යනවිට ඔවුන්ට දැකගන්න ලැබුණේ, එම පුද්ගලයාගේ සමීප ඥාතියෙකුගේ මළ ගෙදර කි. මේ ගැන විමසීමේ දී දැනගන්නට ලැබුණේ, කුකුළා හඬලන ජාමයේ ශරීර අවශ්‍යතාවයකට ගෙයින් එළිබැස්ස බවත්, ආපසු ඒමට පමා වූ නිසා සොයා බැලීමේදී නාහින් කටින් ලේ පෙරාගෙන බිම වැටී මැරී සිටි බවයි. ඔවුන්ගේ විශ්වාසය වූයේ, මහසොහොනා ගසන්නට ඇති බවයි. තුවක්කුවකින් වෙඩි වැදුණු බවට කිසිදු ලකුණක් දැකගන්නට තිබී නැත.

මාසයක් ඉක්මයන්නටත් පෙර, ඉතා අසාධ්‍ය තත්ත්‍වයෙන් ලෙඩ ඇඳේ සිටි දියණියන් දෙදෙනා සමඟ පෙර අත් වාරුවෙන් පැමිණි වැඩිහිටි යුවළ ඒ කිසිවක් නැතිව ගුරුකම් හාමුදුරුවන් බැහැ දැකීමට පැමිණි බව එල්කේ බාසුන්නැහැ පැවසුවේ කිසියම් වූ භක්තියකින් යුතුව ය.

එල්කේ….. හාමුදුරුවෝ බෝර නොදා ගල් පුපුරපු හැටිත් කිව්වනන්. …..බාසුන්නැහැගේ සම වයස් අයකු ඉල්ලා සිටියේ ය. හිතවත් වැඩිහිටියාගේ එම කතාවෙන් පසු, ගුරුකම් හාමුදුරුවන්ගේ කෙරුවාවන් ගැන තව තවත් දැනගන්න අපේ කුතුහලය වැඩි විය. එහෙත් දහවල් කෑම පැය අවසන් වීමට ඇත්තේ තවත් විනාඩි කිහිපයකි. වෙනත් දිනක තවත් කතාවක් කියන බවට එකඟතාවයකට පත් විය.

දැන් දැන් පන්සල පිරී ඉතිරී යන්නේ ගුරුකම් කර ගෙන යෑමයට පැමිණෙන ජනී ජනයා ගෙන් මිස වැඳ පුදා ගැනීමට එන අය ගෙන් නොවේ. එමෙන්ම දැන් පන්සලෙන් ගමට ඉටුවිය යුතු යුතුකම් ඉටුවෙන්නේ ද නැත. කෙටියෙන් කියතොත් හාමුදුරුවන් ගමේ පාංශකූලයකට, බණ පිරිතකට වඩින්නේ ද නැත. ගම්මුන් ගෙන් වැඩි පිරිසක් පන්සලේ ආගමික කටයුතුවලින් ඈත් වෙලා ය. හාමුදුරුවන්ගෙන් ඵල ප්‍රයෝජන ඇති පවුල් දෙක තුනක් පමණක් පන්සලට යන එන්නේ ය. එමෙන්ම හාමුදුරුවන් ගැන ඇසෙන්නේ හොඳ කතා නොවේ. දෑතේ ඇඟිලි ගණනටත් වැඩියෙන් ගැහැනුන්ගේ නම් හාමුදුරුවන් හා බැඳී ඇත. ඒ අනුව හාමුදුරුවන්ගේ අනියම් සම්බන්ධතා බොහෝ ය. එම කාන්තාවන් කිහිප දෙනෙක්ම පිට ගම්වලින් හාමුදුරුවන් ගෙන් ගුරුකම් කර ගැනීමට පැමිණි අයයි. පන්සලේ දැන් උයන්නේ පිහන්නේ මේ කාන්තාවන් ය.

“…..පාංසකූලෙටවත් නැති හාමුදුරු කෙනකු ගෙන් අපිට වැඩක් නෑ…..පන්සලත් දැන් වල් වැදිලා. හම්බ කරන සල්ලි ගෑනුන්ට පූජා කරනවා…. ඒ සල්ලිවලින් පන්සල සුද්ද පවිත්තර කරලා දාපන්කෝ…..” ආදී වශයෙන් නොයෙක් කතා ඇසෙන්නේ ය.

විශ්‍රාමික පුරාවිද්‍යා නිලධාරි, රත්නපුර එච්.එම්. ජයන්ත විජේරත්න
[email protected]


advertistmentadvertistment