පින්වත, සිංහල අලුත් අවුරුද්ද සතුටෙන් සැමරුවා ද? පින්වත, භික්ෂුවට නම් ඉතින් මොන අවුරුදු ද? නෑදෑයොත් නැහැ, හිතමිතුරොත් නැහැ, ගෙවල් දොරවලුත් නැහැ, සල්ලිත් නැහැ. පින්වත, මේ මොනවා නැති වුණත්, භික්ෂුව ළඟ සතුට, ප්‍රීතිය, පස්සද්ධිය නම් දොරේ ගලා යන්න තිබෙනවා. පින්වත, ඒත් එම සතුට, ප්‍රීතිය, පස්සද්ධිය භික්ෂුව සතුටින් පිළිගන්නේ නැහැ. පින්වත, සතුට, සතුටින් පිළිගත්තොත්, දුක කොහෙන් හෝ තැවරෙන්න බලනවා. එම නිසා ම, භික්ෂුව සතුට, ප්‍රීතිය, පස්සද්ධිය පෙරළා ආයෝජනය කරන්නේ, සමාධිය, උපේක්‍ෂාව උදෙසා මයි. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ, සිංහල අලුත් අවුරුද්ද යෙදී තිබෙන්නේ අප්‍රේල් දහහතර වෙනිදා නොවේ. පින්වත, භික්ෂුවක් කිනම් මොහොතක හෝ පංච නීවරණයෝ බැහැර කොට, සම්මා සමාධිමත් සිතින් පසුවේ ද, එම සම්මා සමාධිමත් සිතයි, භික්ෂුවකගේ සිංහල අලුත් අවුරුදු මංගල්‍යය වෙන්නේ. පින්වත, භික්ෂුවකගේ මුළු ජීවිතය ම එවිට, ප්‍රණීත අලුත් අවුරුදු කෑම මේසයක් වෙනවා. එම ප්‍රණීත අලුත් අවුරුදු කෑම මේසයේ පිළුණු වෙන ආහාර නැහැ. එහි තිබෙන්නේ, සති, ධම්ම විචය, වීර්යය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්‍ෂා යන ප්‍රණීත අතුරුපස මයි. පින්වත, මෙම ප්‍රණීත අවුරුදු අතුරුපස, භික්ෂුවකට විකාලයේත් වළඳන්න පුළුවන්. පින්වත, ලෝකයේ රසවත් ම ආහාර තිබෙන්නේ තරු පහේ, තරු හතේ හෝටල්වල නොවේ; එම හෝටල් රස, අවිද්‍යාවේ නීරසයි, පංච නීවරණයන්ගේ රසයයි. පින්වත, භික්ෂුවකගේ පරණ අවුරුදු විදර්ශනාවෙන් විනිවිද දැක, මතු කොට ගන්නා අලුත් අවුරුදු මංගල්‍යයයේ සප්ත බොජ්ඣංග අතුරුපස, සම්මා ඥානයන්ගේ රස නහරයි ශක්තිමත් කොට දෙන්නේ. පින්වත, සම්මා ඥානයෝ ප්‍රමාදීභාවයේ කැවුම්, කිරිබත්, අවුරුදු, ලෝකය තුළ තියලා, අප්‍රමාදීභාවයේ සම්මා විමුක්තියටයි මාර්ගය කියලා දෙන්නේ.
පින්වත, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය දී, දේවදත්තලත් වැඩ සිටියා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩ සිටිය දී, කෝකාලික භික්ෂුවත් වැඩ සිටියා. පින්වත, අපි ජීවත් වන වර්තමානය ගැන කිනම් කතාවක් ද? පින්වත, ලෝකයේ හරි හෝ වැරදි සොයන්න යන්න එපා, නොදැනුවත්ව ම ඔබත් වැරදිකරුවෙක් වෙනවා. මේ රාත්‍රියේ භික්ෂුවට ගම්මානය දෙසින් යාන්තමට වේග රිද්ම සංගීත හඬක් ඇසෙනවා. පින්වත, සිංදු කියන්නේ නැති වේග රිද්ම සංගීතයක්. මේ සංගීතය අරක්කු සංගීතයක් වෙන්න බැහැ. අරක්කු සංගීතයක් නම් සිංදු කියනවා. මේ සංගීතය සමහර විට අයිස් මත්ද්‍රව්‍ය සංගීතයක් වෙන්න පුළුවන්. පින්වත, වෙහෙසක්, නිදිමතක් නොදැනෙන අයිස් මත්ද්‍රව්‍ය සංගීත අවසන් වෙන්නේ එළිවෙන උදෑසනයි. පින්වත, ලෝකය නිවැරදි කරන්න අපිට බැහැ. ලෝකය අවිද්‍යාවෙන් උපන් සංස්කාරයන්ගේ පාරාදීසයක්. වර්තමාන සමාජය යැයි කියන්නේ, පින්වත් ජනතාවගේ ආධ්‍යාත්මය මරලා, මිච්ඡා සතුට, විනෝදය දේවත්වයෙන් දකින සමාජයක්. පින්වත, ලෝකය තුළ දුක සහ සැප යන දෙඅර්ථයන් ම තිබෙනවා. අපි අප්‍රමාදී විය යුතුයි, ධර්මානුකූලව දුකෙන්, සතුට උදුරා ගන්න. පින්වත, ගෙවී ගිය සිංහල අලුත් අවුරුද්ද සිහියට නගා ගන්න. කිරිබතක් පිස ගන්න වත්කමක් නොතිබිච්ච, සිතේ සතුට අහිමි වෙච්ච, අවුරුදු සතුට උදෙසා සිල් පද බිඳ ගත්ත, ලෝභ, ද්වේශ, මෝහයෝ තර කොට ගත්ත, මොනතරම් නම් පින්වතුන්ලා සමාජය තුළ සිටින්නට ඇති ද? පින්වත, මේ සෑම කෙනෙක් ම සිහියට නගා ගෙන ‘සුවපත් වේවා!’ යැයි, මෙත් වඩන්න. එම මෛත්‍රී සිතත් චිත්තානුපස්සනාවෙන් අනිත්‍ය යැයි දකින්න. පින්වත, ලෝකයාගේ වැරදි, දක්‍ෂයාගේ නිවැරදිභාවය සහ අප්‍රමාදීභාවය උදෙසා ම විය යුතුයි.
පින්වත, ලෝකය අපි සිතන තරම් සුන්දර නැහැ. ලෝකය රූපයේ සහ කාමයේ ආස්වාදය නමැති වෙස් මුහුණු බැඳගෙනයි සිටින්නේ. පින්වත, ආස්වාදයේ කෙටිභාවය නිසා ම, ලෝකය ඉදිරියේ අපි තරගයට පරදිනවා. පින්වත, පරදින ලෝකය ඔබ සුන්දරයි කියලා ගන්න එපා. ඔබ ලෝකයට රැවටිලා යාවි. පින්වත, දුකෙන් පිරි ලෝකය තුළ සම්මා වායාමයන්ගෙන් මතු කොට ගන්නා කුසල් සංස්කාරයෝ මයි, වර්ණය, සැපය, බලයට මාර්ගය වෙන්නේ. පින්වත, දුකේ දී ඔබව හැර නොයන, ඔබේ විශ්වාසවන්ත මිතුරා බවට සම්මා වායාමෝ පත් කොට ගන්න. පින්වත, ඔබ වැටුණොත් පුරුෂ ධෛර්යයෙන් යුතුව නැගී සිටින්න. ඔබව වැට්ටුවේ කවුද කියලා හිතන්න යන්න එපා. පින්වත, ඔබව වැට්ටුවේ වෙන කවුරුවත් ම නොවේ, ඔබගේ ම අකුසලයයි. පින්වත, ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්දේ, ඔබේ ජීවිතය නමැති පැටලුණ නූල් බෝලය, තවදුරටත් ආත්මීය දෘෂ්ටියට ගොදුරක් වෙන්න දෙන්න එපා. අවිද්‍යාව හේතුවෙන් සකස් වන කුසල් සහ අකුසල් සංස්කාරයෝ මුල් කොට ගෙන, ඔබ ලබන දුක් සහ සැප විග්‍රහ කොට ගැනීමට දක්‍ෂ වෙන්න. පින්වත, ඔබ ලබන සැපයේ හිමිකරු ඔබේ කුසල් සංස්කාරයෝ වෙනවා වගේ ම, ඔබ ලබන දුකේ හිමිකරු ද අකුසල් සංස්කාරයෝ මයි. පින්වත, රණ්ඩු වෙන්න දෙයක් නැහැ, අවබෝධයෙන් නිදහස් වෙන්න මයි තිබෙන්නේ.
පින්වත, මේ සවස්යාමයේ භික්ෂුව වැඩ සිටින ප්‍රදේශයට හොඳටෝම වහිනවා. පින්වත, බක් මහේ අකුණු සක්‍රිය වෙලා, ආකාශයේ තරගයට බෝම්බ පුපුරනවා වගේ අකුණු ගහනවා. පින්වත, බාහිර සතර මහා ධාතුවේ කිපීම්, ධාතු මනසිකාරයෙන් විනිවිද දකිද්දී, අපේ ඇලීම්, ගැටීම් සහ උපේක්‍ෂා විඳීම් සංසිඳී යනවා. එවිට අපි තුළ උපදින්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතුවෙන් සැදුණ රූපයේ, අනිත්‍ය දැක්ම තුළින් මතු වෙන ධම්මානුපස්සනාවයි. පින්වත, භික්ෂුව මේ ආසනය මත වාඩි වෙලා අකුණු ගහන මහ වැස්සේ ඝෝෂාව, භික්ෂුවගේ ඵස්සය අසලින් චිත්තානුපස්සනාවෙන් අක්‍රිය කරලා, සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකිනවා. පින්වත, එම විදර්ශනාමය දැක්ම, ආධ්‍යාත්මික සහ බාහිර පංච උපාදානස්කන්ධයෝ සියල්ල ම අවිද්‍යාවේ මුදුන් මුලෙන් ම තාවකාලිකව නිදහස් කොට දෙනවා. පින්වත, ඔබ රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ලෝකය බරක් කොට ගන්න එපා. ඔබ ලෝකය බරක් කොට ගත්තොත්, සංස්කාර බර තව, තවත් වැඩි වෙනවා. ඔබට ලෝකය බර වැඩි නම්, ඔබේ ජීවිතයෙන් ලෝකය ගලවා දමන්න. අවිද්‍යාවේ බර ඔබ ගන්න එපා. පින්වත, අවිද්‍යාව මහ මෙරක් වගේ බරක්. පින්වත, අතීත, වර්තමාන, අනාගත පංච උපාදානස්කන්ධයෝ ආහාර කොට ගත් අවිද්‍යාව, පංච නීවරණ ආහාරයන් කෙරෙහි ඇති ලොල්භාවය නිසා ම, ආහාර පාලනයෙන් ගිලිහිලයි සිටින්නේ. එම නිසා ම, අවිද්‍යාව බලාගෙන සිටියදී ම ලොකු මහත් වෙනවා. පින්වත, ඔබේ ඵස්සය අසලින් අවිද්‍යාව ගලවා දමන්න. දැක්කා, ඇසුණා, දැනුණා කියන ඔබේ ඵස්සය, අවිද්‍යාවට විඳින්න දෙන්න එපා. එවිට ලෝකය තාවකාලිකව ඔබෙන් ගැලවිලා යාවි. පාට, පාට සිහින වෙනුවට, සිහින විනිවිද දකින සම්මා ඥානයෝ සම්මා සමාධිමත් පොළොවේ එවිට මුල් අදීවි.
පින්වත, සිංහල අලුත් අවුරුදු මංගල්‍යය ගෙවිලා ගියා. බලන්නකෝ අලුතින් සංස්කාරයෝ රැස් කොට දීලා, අතීත සංස්කාරයෝ අවසන් වෙලා යන වේගය. පින්වත, ඔබේ හෘද සාක්‍ෂියට තට්ටු කරලා අහන්න, ගෙවී ගිය අවුරුදු සතියේ දී ඔබ තුළින් වැඩියෙන් ම සිදු වුණේ ලෝභ, ද්වේශ, මෝහයෝ ද? එසේත් නැතිනම් අලෝභ, අද්වේශ, අමෝහයෝ ද කියලා. පින්වත, සිංහල බෞද්ධයාගේ ජීව රුධිරය වන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය සිහිනුවණින් ඔබ ජීවිතයට එකතු කොට ගත්තා ද? එසේත් නැතිනම් මිථ්‍යා දෘෂ්ටියේ ජීව රුධිරය වන මිච්ඡා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර ඇමේ ආස්වාදයට ගොදුරු වුණා ද? පින්වත, අපි වපුරපු දෙයයි, අපිට අස්වැන්න හැටියට ලැබෙන්නේ. සමාජගත වන හොඳ සහ නරක දැකලා කලබල වෙන්න එපා. ලෝකය තිබෙන්නේ ඉගෙන ගන්න. ලෝකය තිබෙන්නේ අවබෝධ කොට ගන්න. ලෝකය තිබෙන්නේ ලෝකයත් සමගම, දුකෙන් විනාශ වෙලා යන්න නොවේ. පින්වත, මහ මෙරක් වන් භව ගමනක, උපරිම අවුරුදු හැත්තෑ පහක ගල් කැටයක් වගේ ජීවිතයක්. පින්වත, ගල් කැටයක් වගේ ජීවිතය ගැන හෝ, මහ මෙරක් වගේ භව ගමන ගැන ඔබ සිතන්න, විතර්ක කරන්න යන්න එපා. සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි සිහිනුවණින් දකින, ධම්මානුපස්සනාව ඇති කොට ගන්න. පින්වත, මහ මෙරක් වන් භව ගමන, ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ යන ධර්මතාවය තුළින් ම නිවී යන්න දෙන්න. මෙය සටහන් තබන භික්ෂුවගේ ජීවිතයේ, හැට තුන් වන සිංහල අලුත් අවුරුද්දයි ගෙවී ගියේ. පින්වත, අපේ අතීත මතකයන්, ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ ධර්මතාවයෙන් විනිවිද දකින කොට, තෘෂ්ණාවේ උපාදානයන්ට කැවුම්, කිරිබත් පමණක් නොවේ, හුස්මත් අහිමි වෙලා යනවා.
පින්වත, අවිද්‍යාවෙන් උපන් සංස්කාරයන්ගෙන් යැපෙන, කාත් කවුරුවත් නැති පංච උපාදානස්කන්ධ ලෝකයක, මමත්වයෙන් දැඩි වෙන්න එපා. මමත්වයෙන් දැඩි වුණොත් පංච උපාදානස්කන්ධයන්ගේ කුණු හැව වන සක්කාය දිට්ඨියයි තර වෙන්නේ. එවිට අපේ දිට්ඨි විශුද්ධිය, ආත්මීය දෘෂ්ටියේ කසළ කඳු අතර සැඟවිලා ම යනවා. පින්වත, අපි දිට්ඨි විශුද්ධිය ලබන්න නම්, අපි තුළ චිත්ත විශුද්ධිය ඇති වෙන්න ඕනේ. පින්වත, චිත්ත විශුද්ධිය යැයි කියන්නේ, පෙරාපු සම්මා සමාධියයි. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් මාර්ග අංග හතෙන් මොනවට පිරිසිදු වූ, පංච නීවරණ මණ්ඩි රහිත සම්මා සමාධිය යනු චිත්ත විශුද්ධියයි. පින්වත, චිත්ත විශුද්ධිය තුළ, ආජීව අට්ඨමක සීලයෙන් මොනවට පිරිසිදු වූ සීල විශුද්ධියත්, සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයන්ගේ අර්ථයනුත් හරි ලස්සනට මුසු වෙලා තිබෙන්නට ඕනේ. පින්වත, පෙනෙනවා නේද අපි ඇසෙන් දකින දැක්මයි, අපි චතුරාර්ය සත්‍යය ධර්මයන් තුළින් දකින දැක්මයි අතර තිබෙන අයෝමය වෙනස. පින්වත, ඇසෙන් දකින, කනෙන් අසන, මනසින් විතර්ක කරන ලෝකය, සීල විශුද්ධිය තුළ චිත්ත විශුද්ධිය තුළ බහා බලන්න. එවිට ඔබ තුළ ‘මම’, ‘මගේ’ යැයි මුල් කොට නොගත්, පටිච්චසමුප්පාද ධර්මයන් තුළ ජීවිතය විසිරුවා දකින, හේතුඵල ධර්මයෝ මතු කොට දෙන උතුම් දිට්ඨි විශුද්ධිය උපදීවි. පින්වත, දිට්ඨි විශුද්ධියෙන් තොරව අපිට සම්මා ඥාන සහ සම්මා විමුක්තිය කරා යන්න බැහැ. පින්වත, දිට්ඨි විශුද්ධියෙන් තොර ආත්මීය දෘෂ්ටිය අපිව රජ කරවන්නේ මායාවේ සිහින පාරාදීසවල මයි.
පින්වත, සියලුම සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. එය මනුෂ්‍ය අපේ වරදක් නොවේ, එය කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ ජන්ම ගතියයි. සංස්කාරයන්ගේ ජන්ම ගතිය තේරුම් ගන්න නම්, චතුරාර්ය සත්‍යය ධර්මයෝ අපේ ජීවිතගත වෙන්න ඕනේ. පින්වත, සම්මා දිට්ඨියෙන් උපදින සම්මා සමාධිය දක්‍ෂයි සංස්කාර කම්පිතයන් ඉදිරියේ නොසැලී සිටින්න. පින්වත, කම්පිත සංස්කාරයෝ අවිද්‍යාවට භාර දී, ධර්මයේ උපේක්‍ෂාවෙන් ජීවිතය දෙස බලන්න අපි පුහුණු වෙන්න ඕනේ. පින්වත, පසුගිය කාලයේ රටේ පින්වත් ජනතාව, අපේ පාර්ලිමේන්තුවේ, සඳුන් ගස් ගොඩාක් රෝපණය කළා නේද? පින්වත් ජනතාව සිතුවේ එම සඳුන් සුවඳ උඩු සුළඟට මුසු වෙලා දිව්‍ය ලෝකයටත් හමාවි කියලා. පින්වත, එම සඳුන් පැළවල ළපටි කොළ, අතු සංස්කාරයන්ගේ අනිත්‍ය සුළං රැලිවලට කලබල වෙන හැටි පේනවා නේද? පින්වත, ලෝකය චතුරාර්ය සත්‍යය ධර්මයන් තුළ විවෘත කොට දකිද්දී, ලෝකය, ලෝකය සේ ම පවතිනවා. පින්වත, රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයෝ කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. පින්වත, කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකය අපි නොකැඩී, නොබිඳී, නොවිසිරී තබා ගන්න උත්සාහ කරනවා. එවිට අපි තව තවත් අවිද්‍යාවෙන් වෙහෙසට පත් වෙනවා. පින්වත, අවසානයේ අපි හැමෝම වෙහෙසට පත් කරලා, “තෘෂ්ණාව” පමණක් ජය කණුව වෙත යනවා. පින්වත, දුකට හේතුව වන තෘෂ්ණාව නිරෝධය කරන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය, මේ සියලු සංස්කාර මැජික් විජ්ජාවන් දෙස, තවමත් ධර්මයේ උපේක්‍ෂාවෙන් බලා සිටිනවා.
පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ