බෝක්කුවක් තුළට ඇදවැටී තරුණයෙක් ජීවිතක්ෂයට

596

එප්පාවල පොලිස් වසමේ ඇඳගල මංසන්ධිය ආසන්නයේ අලු‍ත්වැඩියා කෙරෙමින් පවතින පාලම් බෝක්කුවක් තුළට වැටී යතුරු පැදියක ගමන් කළ තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තිරප්පනය, පෙරියකුළම ප්‍රදේශයේ පදිංචි කුෂාන් චතුරංග නම් 25 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

ඔහු පෞද්ගලික රථ වාහන රක්ෂණ ආයතනයක එප්පාවල නගර ශාඛාවේ සේවය කර ඇති අතර, ඊයේ (19) සේවය නිම වී නිවස බලා යමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇත. බෝක්කුවේ එක් පැත්තක් ඉදි කෙරෙමින් පවතින බැවින් මාර්ගයේ එක් මං තීරුවක් පමණක් විවෘත කර තිබී ඇත. යතුරු පැදිය අසල තිබූ යකඩ බටයක ගැටී යතුරු පැදිය එම ස්ථානයේ පෙරළි ඇති අතර යතුරු පැදිකරු බෝක්කුව තුළට වැටී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. අදාළ බෝක්කුව අසල මාර්ග සංඥා මගින් බෝක්කුව ඉදි කිරීම් කටයුතු සම්බන්ධයෙන් දැනුම්වත් කර ඇතත්, දැඩි අඳුරු ස්වභාවයක් ගන්නා එම ස්ථානයේ විදුලි ආලෝක මගින් පාලමේ ඉදිකිරීම් සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට කොන්ත්‍රාත් සමාගම් කටයුතු කර නොමැති බව එහි ගිය අපට දැක ගත හැකි විය. දේහය එප්පාවල ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
මිහින්තලේ – රංග චතූ, තිසර සමල් – අනුරාධපුර -තිරප්පනේ සමන් පෙර්රා

advertistmentadvertistment
advertistmentadvertistment