ඇමෙරිකානු ජනපතිවරණ සටන වෙනුවෙන් ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනා වන හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උප ජනාධිපතිනි කමලා හැරිස් අතර විනාඩි 90ක රූපවාහිනී සජීවි විවාදය අඟහරුවාදා රාත්‍රියේ පැවැත්විණි.
මේ විවාදය තුළ ට්‍රම්ප්ට වඩා කම්ලා හැරිස් සාර්ථක වී ඇති බව ඇමෙරිකානු මාධ්‍ය පවසයි.
කමලා හැරිස්ගේ ප්‍රහාර හමුවේ හිටපු ජනාධිපතිවරයාට, වඩා ආරක්‍ෂිත පියවර ගැනීමට සිදුවූ බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කීය.
මේ විවාදය ආරම්භ වීමට පෙර අපේක්‍ෂකයෝ දෙදෙනා එකිනෙකාට අතට අතදී සුබපැතූහ. මේ විවාදයෙන් පසු ඇමෙරිකානු ප්‍රකට ගායිකා ටේලර් ස්විෆ්ට් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහන් කර තිබුණේ තමා ද කමලා හැරිස්ට ඡන්දය ලබාදෙන බවයි.
මීට පෙර වර්තමාන ජනපති ජෝ බයිඩන් හා ට්‍රම්ප් අතර පැවැති විවාදයේදී බයිඩන් අසාර්ථක වීම හේතුවෙන් ඔහුට ජනපති සටනින් ඉවත් වීමට සිදුවිය. එවිට ජනපති සටනට ඉදිරිපත් වූයේ කමලා ය. දැන් කමලා සාර්ථක වී තිබේ.
චතුර පමුණුව