රෙද්ද නැති නළුවා

1551

කැනඩා වීසා ලබාගැනීමට සිදුවූ නාටකය හෙළිවී ඇත. නාටකය නිසා නළුවාගේ රෙදි ගැලවී තිබේ. මේ නළුවා නිසා ඒ මහා නරපති දුටුගැමුණුටත් නිග්‍රහයක් සිදුවී ඇති බව කවුරුන්හො පැවසුවහොත් එහි වරදක් නැත. හැමෝමට නළුවන් විය නොහැකිය. ජීවිතය ගත කිරීමත් එක්තරා රඟපෑමකි. නමුත් තක්කඩින් හෙළිවීම වඩා හොඳය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි තැබීමේ සිද්ධිය, ඔහු විසින් ම සැලසුම්සහගතව කර ගන්නා ලද්දක් බව මූලිකව තහවුරු වී ඇතැයි පොලිසිය විසින් පසුගිය සතියේ අනාවරණය කර තිබිණි. මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, මෙය සහකාර පොලිස් අධිකාරිවරයෙකු සමග එක්ව සැලසුම් කර තිබූ බව හෙළි වී ඇති බව ය. “සංජීව මහානාම කියන සහකාර පොලිස් අධිකාරිවරයා විදේශගතවෙලා තියෙනවා, පෙරේදා දිනයේදී. ශ්‍රී ලංකා පොලිසියට දැනුම් දීලා නිසි අවසරයකින් නෙවෙයි ඔහු විදේශගතවෙලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් අපි පරීක්ෂණයක් සිදු කරනවා. ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිද්ධ වුණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත්, මේ සහකාර පොලිස් අධිකාරිවරයාත් දන්නා හඳුනන පුද්ගලයෝ විදිහට මේ කාර්යය සැලසුම්සහගතව දෙදෙනා විසින් සිදු කළා කියන කාරණය තමයි නිරීක්ෂණය වෙලා තියෙන්නේ මේ විමර්ශන කටයුතු අනුව. මේ සම්බන්ධව විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින අතරතුර මේ පුද්ගලයාගේ විදේශගත වීම සිදු වෙන්නේ යනුවෙන් නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර තිබිණි.

රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව කියන සිද්ධිය වාර්තා වූයේ, 2023 සැප්තැම්බර් මස 17 වැනිදාය. අනුරාධපුර, ගුවන්තොටුපළ පාරේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී එදින රාත්‍රී 10.30ට පමණ ඔහුගේ මෝටර් රථයට වෙඩි තබා තිබිණි. මෙහිදී, රථයට සුළු හානි සිදුවූ අතර උද්දික ප්‍රේමරත්නට කිසිදු හානියක් සිදු නොවී ය. කැනඩාවේ අනුකම්පාව ලබාගැනීමට කළ නාටකයෙන් දින කිහිපයකට පසු පාර්ලිමේන්තුවට පැමිණ මේ නළුවා පැවසුවේ කුමක්ද? එහිදී ඔහු ප්‍රකාශ කළේ, තමාට වෙඩි තබන ලද්දේ රටේ පවතින ජරාජීර්ණ ක්‍රමය විසින් බව ය. මෙරට තුළ පවතින සමාජ ක්‍රමය හා දේශපාලන ක්‍රමය යන ක්‍රම දෙකම වැරදි බව ද එම නිසා රට තුළ ප්‍රශ්න එන්න එන්නම වැඩි වෙමින් පවතින බව ද ඔහු උද්වේගකර අන්දමින් පවසා තිබිණි. නමුත් ජරාජීර්ණ වී ඇත්තේ මේ ක්‍රමයද නළුවාගේ ක්‍රියා කලාපයද යන්න රටටම හෙළිව තිබේ. බොරුවට කෑගසා රටේ අවධානය යොමු කරවගත්තද නළුවාගේ රෙද්ද කැඩී යෑම හොඳය. බොරු ෂෝ වලට තිත තැබීම ගැන පොලිසියට ස්තුතිවන්ත විය යුතුය. පසුගිය පෙබරවාරියේ මොහු සිය ඉල්ලා අස්වීම කථානායක වෙත යොමුකරමින් පවසා තිබුණේ සක්‍රිය ක්‍රියාමාර්ගයක නිරතවීම සඳහා තරුණ නායකයකු ලෙස තමාට අවස්ථාවක් නොලැඹුණු බවයි. ඇත්තෙන්ම මොහු සිදු කළ එකම සක්‍රිය ක්‍රියාමාර්ගය තමන්ට වෙඩි තබා ගැනීම පමණකි. පබා පාර්ලිමේන්තුවට එවූ ගම්පහ ජනතාවත් පසුව කනගාටු විය. දැන් අනුරාධපුර ජනයාටත් විස්සෝප වන්නට සිදුවේ. දේශපාලනයටත් හොඳ නළුවෝ සිටිති. නමුත් සමහරුන් පාර්ලිමේන්තුවට නොව මරණාධාර සමිතියටත් වද්දාගත යුතු නැත. මේ හොර නළුවන් එළවා දැමිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment