රෝගය සුව කරන්න බව කියා ජීවම් කරන්න රැගෙන ගිය රන් සුරය සොරා ගෙන

210

රෝගිවී සිටින පුද්ගලයෙකු ගේ රෝගය සුවවීම සඳහා ජීවම් කර ගෙල පළඳවා තිබූ රන් සුරය සහිත රන්මාලය කතරගම ලොකු අප්පොච්චි ඉදිරිපිට දී තවදුරටත් ජීවම් කිරීම සඳහා යැයි පවසා රැගෙන ගොස් එම රන් සුරය සහිත රන් මාලය ආපසු ලබානොදී වංචා කළේ යැයි කියන ‘ඩොක්ටර් ශ්‍යාමා ’ යන අන්වර්ථ නමින් හඳුන්වන සැකකාරියව සහ තවත් සැකකරුවෙකුව එළැඹෙන මස 11 වැනි දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය 28 වැනිදා නියම කළාය.

කටුනායක , පීල්ලවත්ත ප්‍රදේශයේ නිවසක් කුලී පදනම මත ලබාගෙන ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ශ්‍යාමා රෝහිණි තිලකරත්න සහ හර්ෂණ ටිකිරි බණ්ඩාර යන සැකකාරිය සහ සැකකරුව මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.

සැකකාරිය දෙහිවල, අත්තිඩිය සහ සැකකරු ගුත්තෑපාන, ලේවැල්ලේගම යන ප්‍රදේශවල ස්ථිර පදිංචිකරුවන් බවට අධිකරණයේ දී සඳහන් විය.

සැකකාරිය සහ සැකකරු විසින් පීල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ආයුර්වේද මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය කුලී පදනම මත ලබාගෙන ඇති නිවස පරීක්ෂා කිරීම සඳහා කටුනායක පොලිසිය වෙත සෝදිසි වරෙන්තුවක්ද අධිකරණය මඟින් 28 වෙනිදා නිකුත් කළේය. පැමිණිල්ල මෙහෙයවමින් කටුනායක පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් පරීක්ෂක ජිනප්‍රිය මුදන්නායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් අධිකරණයෙන් එසේ සෝදිසි වරෙන්තුව නිකුත් කෙරුණි.

ව්‍යාජ ලියාපදිංචි අංකයක් යොදාගෙන දේශීය වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් සැකකරු සහ සැකකාරිය රෝගීන්ට ප්‍රතිකාර ලබාදී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවට අධිකරණයේ දී සඳහන් විය.

ප්‍රතිකාර කිරීමට අමතරව ලෙඩ සුව කිරීම සඳහා සෙත් ශාන්ති කිරීම ද සැකකාරිය සහ සැකකරු විසින් සිදුකර ඇති බවත් ඇවිද යෑමට නොහැකි රෝගීන්ට නිවෙස් වලට ගොස් ප්‍රතිකාර සහ සෙත් ශාන්ති කිරීම සිදුකර ඇති බව පොලිසිය කීය. සැකකාරිය එසේ නිවෙස් වලට ගොස් ප්‍රතිකාර ලබා දෙන රෝගියෙකු ගේ ලෙඩ සුව කිරීම සඳහා සිදුකරන ලද සෙත් ශාන්තිය ඇතුළත් රත්තරන් මාලයක් සහ රත්තරන් සූරයක් රෝගියාට පළඳවා ඇති බව පොලිසිය කීය. දින කිහිපයකින් රෝගියාට පැළඳ වූ එම රන් මාලය සහ සුරය තවදුරටත් කතරගම ලොකු අප්පච්චි ළඟ ජීවන් කළ යුතු බව පවසා සැකකාරිය එම රන් මාලය සහ සුරය රැගෙන ගොස් ආපසු ලබා නොදී වංචාකර විශ්වාසය කඩකර ඇති බවට අධිකරණයේ දී වැඩිදුරටත් සඳහන් විය. මෙම නඩුවට අදාළ පැමිණිලිකාරිය ද පීල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි. පැමිණිලි කාරිය රෝගියාගේ ගෙල බැඳි රන්මාලය රුපියල් ලක්ෂ තුනක් බවත් රන් සුරය රුපියල් ලක්ෂයක් වටිනා බවත් සැකකාරිය විසින් එම රන් මාලය සහ සුරය රැගෙන යෑමෙන් අනතුරුව පැමිණිලිකාරිය සහ සැකකාරිය අතර ඇතිවූ කතාබහ ඇතුළත් සීඩී පටි දෙකක් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති බවට ද අධිකරණයේ දී වැඩිදුරටත් සඳහන් විය .

සැකකාරියගේ දියණිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන පොලිස් නිලධාරීන්ට විරුද්ධව උසස් පොලිස් නිලධාරීන් හමුවේ පැමිණිලි කරමින් විමර්ශන නිලධාරීන් අධෛර්යයමත් කරන බව කටුනායක පොලිසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

එළැඹෙන මස 11 වැනිදාට පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට අධිකරණයෙන් පොලිසියට නියම කෙරුණි. නඩුව නැවත එළැඹෙන මස 11 වැනිදා අධිකරණය හමුවේ කැඳවීමට නියම විය.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment