ලක්‍ෂයකට අධික පිරිසක් මියන්මාරයේ සයිබර් කඳවුරුවල රඳවා සිටිනවා – රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය කියයි

86

53,000 ක්ම චීන්නු

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ ලෝකයේ විවිධ රටවල තරුණ තරුණියන් ලක්ෂයකට අධික පිරිසක් බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින බව තමන්ට මියන්මාර සංචාරයේ දී දැන ගැනීමට ලැබුණු බවත් ඒ අතරින් 53,000ක් චීන ජාතිකයන් බවත් විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පෙරේදා (15 දා) සවස කටුනායක ගුවන්තොටුපළේ දී පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ මියන්මාරයේ සහ තායිලන්තයේ සංචාරය නිම කර කටුනායක ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තාරක බාලසූරිය රාජ්‍ය අමාත්‍යවරයා මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයන් 49 දෙනා අතුරින් කීපදෙනකු හෝ ඉදිරියේදී මුදා ගැනීමට හැකි වේයැයි තමන්ට විශ්වාසයක් ඇතැයි ද පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මියන්මාරයේ සංචාරයට අමතරව තායිලන්තයේ ද සංචාරයක නිරත වෙමින් එම රටවල නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරුන්, විදේශ කටයුතු අමාත්‍යවරුන්, අධිකරණ සහ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන කීපයක් ද හමු වී සාකච්ඡා කළ අතර එහිදී මියන්මාරයේ මෙම සයිබර් කඳවුරු තුළ ලෝකයේ විවිධ රටවල තරුණ පුරවැසියන් ලක්ෂයකට අධික පිරිසක් බලහත්කාරයෙන් රඳවා තබාගෙන සිටින බවත් ඔවුන් අතරින් 53,000ක් චීන ජාතිකයන් බව තමන්ට අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් පැවසීය.

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා 15 දා පස්වරු 03.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 405 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment