පාකිස්තාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය
කුසල් ජනිත් පෙරේරා, මොහොමඩ් නයීම් ඇතුළු ලාහෝර් ක්ලැන්ඩර්ස් පිතිකරුවන්ගේ දක්‍ෂ පිතිහරඹයත්, ශහීන් ෂා අෆ්රිඩිගේ නායකත්වයේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් පාකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසාන මහා තරගය වූ ලාහෝර් ක්ලැන්ඩර්ස් කණ්ඩායම සහ ක්වෙටා ග්ලැඩියේටර්ස් අතර තරගයෙන් කඩුලු 6ක ජයක් ලැබීමට ලාහෝර් ක්ලැන්ඩර්ස් කණ්ඩායම සමත්විය.
පෙරේදා (25 දා) ලාහෝර්හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ක්වෙටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 201ක් ලබාගනිමින් ලකුණු 202ක දැවැන්ත අභියෝගයක් ප්‍රතිවාදීන්ට එල්ල කළද, එම ඉලක්කය හඹායෑම සඳහා පිටියට පිවිසි ලාහෝර් ක්ලැන්ඩර්ස් පිතිකරුවෝ පන්දු වාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 204ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළේය.
ක්වෙටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ හසන් නවාස් පන්දු 43කට මුහුණ දෙමින් හයේ පහර 4ක් සහ හතරේ පහර 8ක් සමගින් ලකුණු 73ක් ලබාගැනීමට සමත්වූ අතර, ඊට අමතරව අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 29ක්, ෆහීම් අස්රොෆ් ලකුණු 28ක් සහ රයිලි රූසෝ ලකුණු 22ක් ලැබීය.
පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නරත වූ ශහීන් ෂා අෆ්රිඩි ලකුණු 24කට කඩුලු 3ක්, හැරිස් රාවුෆ් ලකුණු 41කට කඩුලු 2ක් සහ සල්මාන් මිර්සා ලකුණු 51කට කඩුලු 2ක් බිඳහෙළීය.
ලාහෝර් ක්ලැන්ඩර්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී විශිෂ්ට ඉනිමක් දියත් කළ කුසල් ජනිත් පෙරේරා පන්දු 31කට මුහුණදෙමින් හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 63ක් ලබාගැනීමට සමත්විය. ඊට අමතරව මොහොමඩ් නයීම් ලකුණු 46ක්, අබ්දුල්හ් ශෆීක් ලකුණු 41ක් සහ ශිකන්ද රාසා පන්දු 7කට මුහුණ දෙමින් ලකුණු 22ක් ලැබීය.
පන්දු යැවීමේදී මොහොමඩ් අමීර්, ෆහීම් අස්රෝෆ්, අබ්රාර් අහමඩ් සහ උස්මාන් තරීක් අතරේ 1 කඩුල්ල බැගින් බෙදී ගියේය.
තරගයේ වීරයා ලෙස කුසල් ජනිත් පෙරේරා සම්මාන ලැබූ අතර තරගාවලියේ වීරයා ලෙස මොහොමඩ් නවාස් සම්මාන ලැබීය.
සිසිර ඉන්ද්‍රජිත්