ලුණු රස අමතක වී යෑමට පෙර…

136

මේ රටේ මිනිසුන් වැඩි දෙනකු නොදන්නවාට මනුෂ්‍යයාගේ දෛනික වැඩකටයුතු සඳහා අවශ්‍ය වන ලුණු වර්ග 4ක් ලෝකයේ තිබේ. ආම්ලික ලුණු, මූලික ලුණු, නියුට්‍රල් ලුණු සහ ඩබල් ලුණු යනාදී වශයෙන් මේ ලුණු වර්ග හතර හඳුන්වනු ලැබේ. මහා සාගරයේ වතුරවලිනුත් මහපොළොව කැණ ආකරවලිනුත් ලුණු ලබාගනු ලැබේ. සමහර ලුණු රෝස පාටය. සමහර ලුණු කළු පාටය. රෝස පාට ලුණු මහපොළොව කැණ ලබාගන්නා අතර ඒවායේ ඇති රසායනික සංයෝග නිසා මිලෙන් ඉහළය. කළු පාට ලුණු ඊටත් වඩා මිල ඉහළය. මිනිස්සු ශිෂ්ටාචාරයට පැමිණීමටත් පෙර සිටම ලුණු පාවිච්චි කළහ. තිරිසන් සත්තු ද විවිධ මාර්ගවලින් ලුණු ලබා ගනිති. පිටිසරබද පළාත්වල සිටින අලි ගෙවල්වලට කඩා පැන ලුණු මුට්ටියට හොඬවැල ඔබා සුරුස් ගා ලුණු මුට්ටියම ඇද ගනිති. මෙයට අවුරුදු සිය ගණනකට පෙර මේ රටේ සිටි වැදි ජනතාව ලුණු හිඟයෙන් මහත් දුෂ්කරතාවලට පත්වූහ. වැද්දන් සිටින ප්‍රදේශවලට ලුණු ගෙනඑන ලද්දේ මුස්ලිම් වෙළෙඳුන් විසිනි. ඔවුහු වැද්දන්ට ලුණු සේරුවක් දී, එම ලුණු සේරුව මෙන් හාර පන්සිය ගුණයක් වටිනා මුව හම් ද, කොටි හම් ද, ලිහිණි කූඩු ද, මී පැණි ද ලබාගත්හ. මේ අනුව මීට අවුරුදු සිය ගණනකට පෙර සිටි වැදි ජනයා දත් ලොව වඩාත්ම මිල අධික ද්‍රව්‍යය වූයේ ලුණු ය. මේ අතර හිටපු ගමන් මුස්ලිම් වෙළෙඳුන්ට කැලේට එන්නට බැරි වීමෙන් වැද්දන් අතර ලුණු හිඟයක් මතු විය. හැබැයි වාසනාවට මෙන් කැලයේ තිබෙන එක්තරා ගස් වර්ගයකින් ඔවුන්ට ලුණු ලබාගත හැකි විය. මේ ගස් වර්ගයේ පොත්ත තනිකරම ලුණු රස ය. ඒ නිසා ලුණු නැති කාලයට වැද්දෝ පෙර කී ගසේ පොතු කොටා හොද්දට දමා වැඩේ ෂේප් කර ගත්හ.

කිසියම් ගෙයකින් ලුණු කෑවොත් ඒ ගෙදරට ද්‍රෝහී නොවිය යුතු බවට කියමනක් තිබේ. මෙය අරාබි කියමනකි. පසුකාලයේ එය වෙනත් රටවල ප්‍රස්ථාවපිරුළුවලට ද එකතු විය. ලංකාවේ මේ දිනවල ලුණු හිඟයක් පවතී. තව ටික දවසක් යන විට, මේ ප්‍රශ්නය දිගටම තිබුණොත් කිසිම ගෙයක ලුණු නැති වීමට ඉඩ තිබෙන බැවින් අපට ජාත්‍යන්තර මට්ටමේ ද්‍රෝහී රාජ්‍යයක් බවට පත් වීමට පුළුවන. එය එසේ සිදුවන්නේ කිසියම් ගෙදරකින් ලුණු කෑවොත් ඒ ගෙදරට ද්‍රෝහී නොවන ලෙසට තිබෙන ප්‍රස්ථාවපිරුළට අනුවය. හැබැයි ආණ්ඩුව මේ වැඩේ එතරම් දුරදිග යෑමට ඉඩ නොදෙනවා ඇත. මන්ද එවැනි තත්ත්වයක් ඇති වුණොත් මුළු ලංකාවේම ජනතාව ආණ්ඩුවට ද්‍රෝහී වීමට ඉඩ තිබෙන නිසාය.

ලංකාව සාගරයෙන් වටවූ රටකි. එබැවින් අපට ඕනෑ තරම් ලුණු නිපදවිය හැකිය. එහෙත් ඒ නිපදවන ලුණු කලට වේලාවට ලේවායෙන් අරගෙන ගොස් හරිහැටි ගබඩා නොකළොත් වැස්සට හසුවීමෙන් ලුණු අස්වැන්න විනාශ වීමට ඉඩ තිබේ. පසුගිය කාලයේ දී බෙංගාලබොක්ක ආණ්ඩුවේ වගා ව්‍යාපාරයට සහයෝගය දීම සඳහා ඉතා වේගයෙන් සක්‍රීය වී විශාල වැසි වස්සන්නට පටන් ගත්තේය. මෙවිට ලුණු ලේවායන්වල තිබූ ලුණු සියල්ලම තෙතබරිත විය. මෙසේ තෙත් වූ ලුණු ගබඩාවලට ගෙනගොස් ගොඩගැසීමෙන් වැඩක් නැත. ලුණු දිය වෙන්නට පටන් ගත් විට දිගටම දිය වේ. ගබඩා තුළ ඒවා වේළීමට ද නොහැක. ලුණු හිඟය සම්බන්ධයෙන් ආණ්ඩුවට ගහන කට්ටිය කවදාවත් මෙය නොකියති. එහෙත් වගකිව යුතු මාධ්‍යයක් වන බැවින් ‘දිවයින’ ඒ සත්‍යය ද ඔබට කීමට සූදානම් ය. හැබැයි ආණ්ඩුව වැස්සට කලින් සිය ලේවායන්වල තිබෙන ලුණු එකතු කර ගත්තේ නම් ලුණු හිඟයක් ඇති වන්නේ නැත. එහෙත් පෞද්ගලික අංශයට අයත් ලුණු ලේවා සියල්ල වැස්සට කලින් සිය ලුණු අස්වැන්න එකතු කර ගත්තේය. බෙංගාලබොක්කේ අවපාත සක්‍රීය වන බව ඉන්දියාව කල්තබාම ප්‍රකාශ කරයි. සාමාන්‍යයෙන් අඩුම වශයෙන් පැය 72 කට කලින් ඒ බව දැනගත හැකිය. හැබැයි ආණ්ඩුවේ සේවකයන්ට ලුණු ලේවාවල ලුණු එකතු කර ගැනීම සඳහා පැය 72 ක් මදිය. එහෙත් පෞද්ගලික අංශයේ ලුණු ලේවාවල වැඩ කරන සේවකයන්ට තම ලුණු අස්වැන්න වහා එකතු කර ගත හැකිය. මේ රටේ රාජ්‍ය අංශය ඉතා ගුණයහපත් ජනයාගෙන් යුක්තය. හැබැයි ඒ ගුණයහපත් මිනිසුන් වැඩට ඉතාම කම්මැළිය. ඒ නිසා වැඩක් කරන්නැයි කී විට මේ මිනිසුන්ට ඈනුම් යෑම පවා සිදුවෙයි. අප රජයේ සේවකයන් විවේචනය කරන බවක් නොසිතන්න. අප මේ කියන්නේ යහපත් මිනිසුන් ඇඟ හොලවා වැඩ කිරීමට තිබෙන කම්මැළිකම ගැන ය.

නැවතත් අපි ලුණු හිඟය දිහාට හැරෙමු. මෙයට මාස දෙකකට පමණ පෙර රුපියල් 33 ක් වූ ලුණු පැකට් එකක් අද රුපියල් 200 කි. රුපියල් 200 කට පවා ලබාගත නොහැකි තරමට ලුණු හිඟ ය. කිසියම් පුද්ගලයකුගේ දෛනික ලුණු අවශ්‍යතාව ද ග්‍රෑම් 7ක් බව ලුණු පිළිබඳ විශේෂඥයකු සේ සැලකිය හැකි අමාත්‍යවරයෙක් කීවේය. හැබැයි ඒ ග්‍රෑම් 7 දෙකෝටි විසිලක්‍ෂයෙන් වැඩි කළ විට දවසකට මේ රට සඳහා ලුණු ටොන් අතිවිශාල ප්‍රමාණයක් අවශ්‍ය වේ. ග්‍රෑම් 7 දෙකෝටි විසිලක්‍ෂයෙන් වැඩි කරන්නේ අපේ රටේ ඒ තරම් ජනතාවක් සිටින නිසාය. ඒ අනුව 7 දෙකෝටි විසිලක්‍ෂයෙන් වැඩි කර ලංකාවට දෛනිකව අවශ්‍ය වන ලුණු ටොන් ගණන ගණනය කර ගැනීමට ළමයකුට පවා පුළුවන. අප එයින් අදහස් කරන්නේ පෙර කී ඇමැතිතුමාගේ තනතුර ළමයකුට දිය යුතු බව නොවේ. ලුණු හිඟය මඟහැරෙන තෙක් පිටරටින් ලුණු ගෙන්වන බව ආණ්ඩුව පසුගිය දා කීවේය. දැන් ඉතින් මේ ලුණු නැව් එනතුරු අපි ලුණු වතුරෙන් පිරුණු සාගරය දෙස බලාගෙන සිටිමු. ලාභ හාල් එනතුරු ද අප මේ ආකාරයෙන්ම බලාගෙන සිටියෙමු. ලාභ පොල් පිටරටින් ගෙන්වනතුරු ද අපි මෙසේම බලාගෙන සිටියෙමු. එහෙත් ඒ ලුණු නැව් හෝ පොල් නැව් අදටත් පැමිණ නැති බව අපගේ වැටහීමය. බෙංගාල බොක්ක යනු අවුරුදු බිලියන එකසිය පනහකට පෙර නිර්මාණය වූ අලුත් මුහුදු බොක්කකි. මෙය ඉතා රළු ය. සමහර විට හාල් නැව් සහ පොල් නැව් එම මුහුදු බොක්කේ ගිලී ගියාවත් ද?


advertistmentadvertistment