මධ්‍යම රුසියාවේ  පාසලක වෙඩි තැබීමක්

98

නාඳුනන තුවක්කුකරුවකු විසින් ඊයේ (26දා) මධ්‍යම රුසියාවේ පාසලක සිදු කරන ලද වෙඩි තැබීමකින් පාසලේ ඉගෙනුම ලබන සිසුන් 07 දෙනකු ඇතුළු 13 දෙනකු මිය ගොස් තවත් 20 දෙනකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මධ්‍යම රුසියාවේ ‘ඉසෙව්ස්ක්’ නගරයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර අවසානයේ තුවක්කුකරුද වෙඩි තබාගෙන මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මෙම වෙඩි ප්‍රහාරයෙන් මියගිය පිරිස අතර ගුරුවරුන් දෙදෙනකු හා පාසලේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු ද වන බව වාර්තා වී තිබේ. සිසුන් 1000ක් හා ගුරුවරුන් 80 දෙනකු සිටින මෙම පාසලේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියත් සමගම තුවාලකරුවන් රෝහලට ගෙන යාම සඳහා ගිලන් රථ හා පොලිස් නිලධාරීන් පාසල වෙත ඊයේ සවස පැමිණ තිබුණි. මෙම වෙඩි තැබීමේ සිද්ධියට මුල් වූ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

තුවක්කුකරු එක්වරම පාසලට කඩාවැදී සිදු කළ වෙඩි තැබීම හේතුවෙන් පාසලේ සිසුන් මෙන්ම ගුරුවරුන් දැඩි කම්පනයකට ලක්ව ඇති බව වාර්තා වී ඇත. වෙඩි තැබීම සිදු වූ පංති කාමරයේ ජනේලයක වෙඩි උණ්ඩයක් ගමන් කිරීම හේතුවෙන් හිලක් සැදී ඇති බවත් පංතියේ බිත්ති කාමරවල ලේ තැවරී ඇති බවත් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

සිද්ධියෙන් අනතුරුව සියලු සිසුන් හා ගුරුවරුන් පාසලේ ගොඩනැගිලිවලින් ඉවත් කරගැනීමට බලධාරීන් පියවර ගෙන තිබේ. නාසි සංවිධානයේ ලාංඡනය සහිත ටී ෂර්ටයක් පැළැඳ සිට ඇති තුවක්කුකරු පිස්තෝල දෙකකින් වෙඩි තබා ඇති බව හෙළි වී තිබේ. වෙඩි තැබීම සිදු වූ පාසල අයත් කලාපයේ ලබන 29 වැනිදා තෙක් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment