අස්වැසුම, හිස්වැසුම සහ ඇස් වැසුම

1379

ලංකාව ස්වයංපෝෂිත වූ රාජ්‍යයකි. ඒ මොනවායින්ද? සහල් වලින්ද? එළවළු වලින්ද? වෙනත් ආහාර පාන වලින්ද? නැත. ලංකාව ස්වයංපෝෂිතව ඇත්තේ ඒ කිසිවකින් නොව පළමුව දේශපාලනඥයන්ගෙනි. ඉන්දියාවටත් ඇතිවන තරමට දේශපාලනඥයෝ මෙහි සිටිති. ඊළඟට, වැඩ වර්ජන සහ උද්ඝෝෂණ ව්‍යාපාර වලින්ද ලංකාව ස්වයං පෝෂණය වී තිබේ. මේ දිනවල මේ රටේ පවතින ලොකුම උද්ඝෝෂණ රැල්ල වූකලී අස්වැසුමට එරෙහි ව්‍යාපාරයයි. අස්වැසුම ට හිමිකම් ඇති අයද, ඒ සඳහා හිමිකම් නැති අයද, ඒ ගැන දන්නා අයද, නොදන්නා අයද, පාරේ යන අයද එකතු වී අස්වැසුමට එරෙහිව බෝඩ් අල්ලාගෙන සිටිති. මේ රටේ ජනයාගෙන් වැඩිදෙනා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට විරුද්ධව බෝඩ් උස්සාගෙන සිටින්නේ ඒ ගැන කිසිත් නොදැනය. ඒ අතර කිසියම් විද්වතුන් පිරිසක් ප්‍රතිව්‍යුහගතකරණය යන වචනය වෙනුවට ප්‍රශස්තකරණය යන වචනය යෙදූහ. ඒ වචනයේ තේරුම විරෝධතාකරුවන්ගෙන් 99% ක් දන්නේ නැතත් විරෝධතා කිරීම එසේම පවතී.

අස්වැසුම යනු කුමක්ද? මෙය සිංහල භාෂාවේ ඇති ඉතාම සහනදායී වචන වලින් එකකි. එහෙත් දේශපාලනයට පැමිණි විට මිනිස්සු මේ වචනය සමග තරහ වූහ. අස්වැසුම යනු ආර්. ප්‍රේමදාස අගමැති ධුරය දැරූ කාලයේදී පටන්ගත් ජනසවිය ව්‍යාපාරය රීබ්‍රෑන්ඩ් (Re brand) කිරීමකි. චන්ද්‍රිකා ජනාධිපතිව සිටි කාලයේදී ජනසවිය යන වචනය සමෘද්ධිය යනුවෙන් රීබ්‍රෑන්ඩ් කර තිබිණ. මොන වචනයෙන් ආවත් අදටත් සමෘද්ධි ලාභියකුට ලැබෙන්නේ රුපියල් 3500 ක් පමණි. මෙය යුරෝපයේ දියුණු රටවල රැකියා විරහිත ජනතාවට ගෙවන ඩෝල් එක හා සමානය. සෑම රැකියා විරහිතයකු වෙනුවෙන්ම යුරෝපා රටවල ඩෝල් එක ගෙවනු ලැබේ. එනම් පවුලක 5 දෙනකු සිටිත් නම් ඒ 5 දෙනා අවුරුදු 18 සම්පූර්ණ කළ දවසේ පටන් ඔවුන්ට සුදුසු රැකියාවක් ලැබෙන තෙක්ම ඩෝල් එක ලැබේ. රැකියාවක් ලැබුණු ගමන්ම ඩාන් ඩූන් ගා ඩෝල් එක නවතී. යුරෝපයේ බොහෝ රටවල ලංකාවේ මෙන් හොරට සල්ලි හම්බකළ නොහැක. ඩෝල් හිමියාට රැකියාවක් ලැබුණු ගමන්ම ආණ්ඩුව ඒ බව දැනගනී. යුරෝපයේ සහ ඇමරිකාවේ ජනයා හිඟන්නන්ට දෙන මුදල් හැර අනෙක් සියලුම දේ සඳහා කරන වියදම් ගැන ආණ්ඩුව දැනුවත්ය. ලංකාවේ එවැනි ක්‍රමයක් නැත. ඒ නිසා වත්කම් ඇති කඩ සාප්පු ඇති වෙනත් ව්‍යාපාර හිමිකම් ඇති අය පවා සමෘද්ධිය ලබා ගත්හ. ජනසවිය ද ලබා ගත්හ. ආණ්ඩුව මෙවර කරන්නට යන්නේ වත්කම් ඇති අය සහ නැති අය filter කර පෙරා නැති බැරි අයට පමණක්ම ජනසවිය හෙවත් සමෘද්ධිය හෙවත් අස්වැසුම ලබා දීමය. අස්වැසුම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුල්ම ප්‍රකාශය කරන ලද්දේ 2023 මැයි මස 9 දාය. එය ජූලි 1 දා සිට ක්‍රියාත්මකය. අපට දැන ගැනීමට ඇති පරිදි අස්වැසුමට හිමිකාරීත්වය දරණ කණ්ඩායම් 4 ක් තිබේ. ඉන් පළමුවැනි කණ්ඩායමේ හාර ලක්ෂයක් සිටිති. මේ පිරිස ක්‍රමයෙන් දුප්පත්කමින් මිදී ජීවිතය පවත්වාගෙන යා හැකි තත්ත්වයට පත්වෙමින් සිටින කණ්ඩායමකි. මේ අවුරුද්දේ දෙසැම්බර් 31 දා දක්වා මසකට රුපියල් 2500 බැගින් ඔවුනට ගෙවනු ලැබේ. ඊළඟ කණ්ඩායමේද ලක්ෂ 4 ක් සිටිති. ඔවුහු පෙර කණ්ඩායමේ සිටින අයට වඩා නන්නත්තාර තත්ත්වයක සිටින අතර 2024 මාර්තු 31 දක්වා මසකට රුපියල් 5000 බැගින් අස්වැසුම් ගෙවීමක් ඔවුන්ට ලැබෙනවා ඇත. මීළඟට සිටින තුන්වන කණ්ඩායමට 8 ලක්ෂයක් සිටිති. පෙරකී කණ්ඩායම් දෙකටම වඩා නරක තත්ත්වයක ඔවුහු පසුවෙති. ඒ නිසා දින නියමයක් නොමැතිව මසකට රුපියල් 8500 බැගින් ඔවුන්ට ලැබෙනවා ඇත. සිව්වන කණ්ඩායම අන්ත දුප්පත්තු වෙති. 2023 ජුලි 1 දා සිට පුරා අවුරුදු 3 ක කාලයක් සඳහා මසකට රුපියල් 15000 බැගින් අස්වැසුම දීමනාවක් ඔවුන්ට ලැබෙනවා ඇත. මේ මොහොතේදී සමෘද්ධිය හෝ වෙනත් දීමනා ලෙස මේ රටේ සිටින මිලියනයකට කිට්ටු පිරිසක් ආණ්ඩුවේ ආධාර ලබති. උදාහරණයක් ලෙස රුපියල් 5000 බැගින් 72000 ට මාසික දීමනාවක් ලැබේ. නැවතත් රුපියල් 5000 බැගින් වකුගඩු රෝගීන් 39150 ට රජයේ ආධාර ලැබේ. ඊළඟට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හාර ලක්ෂ දහසයදහස් හයසිය හැට හතකට මාසිකව රුපියල් 2000 බැගින් ලැබේ. මේ ක්‍රමය වෙනස්කර අස්වැසුම ලබාදීම සඳහා මේ රටේ දුප්පත්කම පිළිබඳව විගණනයක් කරන ලද අතර එහිදී අස්වැසුම ලැබීමට නුසුදුස්සන් සේ සැලකෙන විශාල ගණනක් හැලී ගොස් ඇත. මෙය ශ්‍රී ලංකාවේ දුප්පත්කම හඳුනාගැනීමේ ක්‍රමවේදය තුළ ඇති වරද ද නොඑසේ නම් මේ දක්වා සමෘද්ධි නිලධාරීන් ලෙස හැඳින්වූ අස්වැසුම නිලධාරීන්ගේ වරද ද යන්න අප නොදනිමු. අප දන්නා එකම කාරණය නම් සමෘද්ධි අච්චාරුව තිබූ තැනට අස්වැසුම් අච්චාරුව පැමිණ තිබෙන බවය. තමන් කෝටිපතියන් බවට පත්වුවද ආණ්ඩුවෙන් නිකන් ලැබෙන රුපියල් 3500 හෝ 2000 අත්හැරීමට කවුරුවත් කැමති නැත. දුප්පත්කම හඳුනාගැනීමේ ක්‍රමවේදයක් ලංකාවේ නැත. දුප්පත්කම හඳුනාගැනීම සඳහා කිසිම රටක සිටින කිසිම දුප්පතෙක් ආණ්ඩුවට සහයෝගය දෙන්නේ නැත. එබැවින් බලවත් පරිශ්‍රමයක් දරා දුප්පත්කම සොයාගැනීමේ ක්‍රමවේදය රජය මගින් සොයාගත යුතුය. මේ රටේ කසිප්පු මුදලාලිලා සියලු දෙනාටම සමෘද්ධි දීමනාව හිමිය. ඇතැම් කසිප්පු මුදලාලිලා දිනකට රුපියල් 40000 ක් පමණ උපයති. ඔවුන්ගේ මාසික ආදායම ලක්ෂ 12 කි. පොලිසියෙන් පැන කසිප්පු මුදලාලි අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළ විට තමාට කසිප්පු ආදායමක් නැති බවත් ඒ බව දන්නා ග්‍රාමසේවක සහ සමෘද්ධි නිලධාරීන් තමන්ට සමෘද්ධි දීමනාව ලබාදෙන බවත් කියමින් ඒ පිළිබඳ ලිපි ලේඛන ඔවුන් උසාවියට ඉදිරිපත් කරයි. ඒ අනුව වැඩි දෙනා සමෘද්ධිය තබාගෙන සිටින්නේ ආදායම් බදු වලින් බේරීමටත් තමන් නීත්‍යනුකූල දුප්පතුන් බව උසාවියට සහ රජයේ ආයතනවලට පෙන්වීමටත්ය. ඇතැම් සමෘද්ධිලාභීහු සල්ලිද පොලියට දෙති. ඇතැම් අයට කුඹුරු තිබේ. සමෘද්ධිය ප්‍රතිව්‍යුහගතකර හෝ ප්‍රශස්තකරණය කර අස්වැසුම සෑදීමේදී එය හිස් වැසුමක් හෙවත් තොප්පියක් බවටත් ඇස් වැසුමක් බවටත් පත්වීමට ඉහත සඳහන් හේතු බලපාන බව අපගේ අදහස වේ.

advertistmentadvertistment
advertistmentadvertistment