ප‍්‍රනාන්දුපුල්ලේ නෝනාගෙන් ඉගෙන ගනිමු

1986

ඩෙල්ටා වෛරසය ඉදිරි සති දෙකේදී ප‍්‍රබලව කි‍්‍රයාත්මක වනු ඇති බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප‍්‍රතිශක්තිවේද සහ ෙසෙල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප‍්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. ඩෙල්ටා වෛරසයේ බලපෑම ආරම්භ වී අප සිටින්නේ මුල් අවදියේ බවත්, මෙහි භයානක බව ඉදිරියේදී දැකගත හැකි බවත් ඔහු අවධාරණය කර සිටී. එනිසාම ඉදිරි සති දෙක ඉතාමත් ම තීරණාත්මක බවත්, ජනතාව විසින්ම තමන්ට ලොක්ඩවුන් හෙවත් අගුළු දමා ගැනීම කළ යුතු බවද ජීවන්දර මහතා කියා සිටී. අන් ප‍්‍රභේදවලට වඩා ඩෙල්ටා වෛරසය ප‍්‍රබල බවත් මුව ආවරණය තත්පර පහක් ගලවාගෙන සිටියහොත් ආසාදිතයකු බවට පත්වීමට එම කාලය හොඳටම ප‍්‍රමාණවත් බව ද ජීවන්දර මහතා පවසයි.

මෙහි භයානකකම අපේ සමහරුන් තවමත් අවබෝධ කොට නොමැතිවීම කනගාටුවට කරුණකි. පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණ ද එම සීමාව තුළ සමහර පිරිස් පිස්සු කෙළින බව දිනපතා වාර්තා වන පුවත් දෙස බැලීමෙන් පැහැදිලිය. මේ අයගේ ක‍්‍රියාකාරීත්වය නිසා ඔවුනොවුන්ගේ හිතවතුන් පමණක් නොව මුළු රටක්ම අවදානමට ලක්වීම අතිශය භයානකය. එනිසා මේ මොහොතේදී අප රටේ සෑම පුරවැසියෙක්ම සිය වගකීම අවබෝධ කරගෙන ඒ අනුව හැසිරීම තමන් විසින් රටට කළ හැකි ලොකුම පරිත්‍යාගය බව අමතක නොකළ යුතුය.

එවැනි පරිත්‍යාගශීලී සහ ආදර්ශවත් ක‍්‍රියාවක් අපි ඊයේ දුටුවෙමු. එම ආදර්ශය රටට ලබා දුන්නේ අන් කවරෙකුවත් නොව කොවිඞ් රෝග මර්දන කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මියයි. ඇයගේ එකම පුත් භානුක ප‍්‍රනාන්දුපුල්ලේ ගේ විවාහය ඊයේ (12 දා* පෙරවරුවේ වැල්ලවත්ත ශාන්ත ලෝරන්ස් දෙව් මැඳුරේදී සිදු කෙරුණේ දෙපාර්ශ්වයේ ඉතාමත් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙනි. එම පිරිස 25 දෙනකුට සීමා වී ඇතැයි වාර්තා වෙයි. මෙම විවාහෝත්සවය කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී පැවැත්වීමට ඇය කලින් සැලසුම් කර තිබුණ ද පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මෙසේ චාම්ව පවත්වා තිබීම අතිශය අගය කළ යුතුය. දේශපාලන බලය හයියක් කරගෙන රටේ නීතියට අවනත නොවී ක‍්‍රියාකරන දේශපාළුවන් ද සිටින රටක ඇය රටට ලබාදුන් ආදර්ශය අන් අය ද අනුගමනය කරන්නේ නම් රට පත්ව ඇති අවදානමෙන් ගලවා ගැනීමට පුළුවන.

 තමන්ගේ එකම පුතුගේ විවාහ මංගල්‍යයට දින නියම කරගෙන තිබියදී පවා ඇය පසුගියදා ජනාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ කොරෝනා කාර්යසාධක කමිටු රැස්වීමේදී පවා විවාහ උත්සවවලට සහභාගි වන පිරිස සීමා කරන ලෙසට ඉල්ලීමක් කර තිබිණි. දැනට විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි විය යුතු පිරිස පනහට සීමා වී තිබෙන්නේ ඇයගේ ඉල්ලීම නිසාවෙනි. ඇයගේ කැපවීම, පරිත්‍යාගය, ආදර්ශය අපගේ ඇගැයීමට යළි යළිත් ලක්වන බවත් සඳහන් කරනු කැමැත්තෙමු. ඇයගෙන් හෝ උගෙන මේ රටේ සියලූදෙනා රටක් අවදානමට ලක් වූ අවස්ථාවක ඊට මුහුණ දෙන්නේ කෙසේදැයි ඉගෙන ගන්නා ලෙස ද අපි මෙහිදී අවධාරණය කරනු කැමැත්තෙමු.

මේ අතර පවතින අවදානම් තත්ත්වය නිසා ආරච්චිකට්ටුවේ මලින්ද සහ සංජීවනී නව යුවළ ද සිය දෙවැනි ගමනට අදාළ උත්සවය නවතා දැමීමට තීරණය කර තිබේ. ඒ පිළිබඳව වූ පුවත අප පුවත්පතේ මුල් පිටුවේ පළවී තිබේ. දෙවැනි ගමනට සිය ඇඳුම් පැළඳුම් පවා සකස් කර බර පැන යොදවා තිබියදී තමන්ගේ ආදරණීයන්ගේ ආරක්‍ෂාව ගැන සිතා එම දෙපළ ගත් තීරණය ද රටටම ආදර්ශයක් බව කිව යුතුය.

ඔබ අප සියලූදෙනා දන්නා අයුරින් මේ වන විට දිනකට කොරෝනා ආසාදිතව මියයන සංඛ්‍යාව සියය ඉක්මවන තැනට මේ රට පත්ව ඇත. රට වසා දමන ලෙසට වෛi සංගම් කරන ඉල්ලීම පිළිබඳව රජය දක්වන ප‍්‍රතිචාරය ඉදිරි දිනවලදී බලාගත හැකිවනු ඇත. ඒ කෙසේ වෙතත් රජය මොන ක‍්‍රියාමාර්ග ගත්තත් පුරවැසි අපගේ කැපවීම හා වගකීම මැනවින් ඉටු නොකළහොත් මේ වසංගතයෙන් රට ගලවා ගන්නා දිනය ඈතින් ඈතට යෑම වැළැක්විය නොහැක. ඒ අතරතුර සිදුවන කොරෝනා ආසාදිත මරණවලට කාට හෝ ඇඟිල්ල දිගු කිරීමෙන් පලක් වන්නේ නැත. එන්නත්කරණය කර ගැනීම මෙන්ම කොරෝනාවට එරෙහිව පරිස්සමෙන් ජීවිතය කළමනාකරණය කර ගැනීමට මේ මොහොතේ අප සියලූ දෙනා කැපවිය යුතුය. එසේ නොවුණහොත් කොරෝනාව ජයගෙන අප පරාජය වන දිනය වැඩි ඈතක නොවනු ඇත. ඔබත්, ඔබගේ ආදරණීයයන්ගේ මෙන්ම සමස්තයක් ලෙස අප රටේ සියලූ ජනතාවගේ ජීවිත සුරක්‍ෂිතතාවය වෙනුවෙන් කැපවෙන්නැයි අපි සියලූ දෙනාගෙන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටින්නෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment