ලීසිං මාරයා නැවතත්

1286

කවුරු මළත් එය ඛේදයකි. වත්තේගම පොලිස් බල කොටසේ පොල්ගොල්ලේ මීගම්මනවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරික තරුණයකු වූ ජාලිය පරාක්‍රමගේ මරණය ද ඒ ආකාරයෙන්ම ඛේදජනකය. පසුගිය 18 වැනිදා උදේ පාන්දර ඔහුගේ ගෙවත්තේ නවතා තිබූ ලොරි රථය ලීසිං සමාගමක සීසර්ලා විසින් පැහැර ගන්නා ලදී. වාහනය පසුපසින් දිව ගිය ඔහු එහි එල්ලුනේය. ඉන් පසු ඔහුගේ මළ සිරුර පාරේ වැටී තිබියදී හමුවිය. මේ මරණය පහත ආකාරවලට සිදුවූ බවට උපකල්පනය කළ හැක.

  1. සීසර්ලා ඔහු ලොරියෙන් තල්ලු කර බිමට දැමීමේදී හිස ගලක වැදී ඔහු මියයෑම.
  2. සීසර්ලා ලොරිය නවත්වා ඔහුට පහර දී, ඔහු අඩපණ කර පාර මැද ඔහුගේ සිරුර තබා ඒ මතින් ලොරිය ධාවනය කිරීම.
  3. ඔහු ලොරියේ එල්ලී යන විට සීසර්ලා ඔහු තල්ලු කළ අතර ලොරියේ පසුපස රෝදයට යට වී ඔහු මියයෑම.

ඉහත සඳහන් කරුණු 3 හෝ එම කරුණු නොවන වෙනත් කරුණු හෝ නිසා අවසානයේදී අවාසනාවන්ත ලෙස තරුණයා මියගියේ ය. මේ මිනීමැරුමට සම්බන්ධ මිනීමරුවන්ගෙන් එක් අයකු පමණක් මේ වන විට අත්අඩංගුවට ගනු ලැබ ඇත. සෙසු පිරිස සැඟවී සිටිති. මේ මරණයට වගකිවයුතු ෆිනෑන්ස් කොම්පැණියේ නම අපි දනිමු. එය තව දින දෙක තුනක් තුළ හෙළිකිරීමට අවස්ථාව එළඹෙනවා ඇත. ෆිනෑන්ස්කාරයන්, කුලියට ගත් සීසර් මාරයන් ලවා රථවාහන ඉස්සීමට යළි පටන්ගෙන තිබේ. එයට ප්‍රධානම හේතුව වී ඇත්තේ මේ මොහොතේදී මේ රටේ ආණ්ඩුවක් නොතිබීම ය. කොරෝනාව ඇරැඹි සමයේදී ලීසිං සමාගමක කුලී හේවායන් පිරිසක් විසින් ත්‍රිරෝද රථ රියැදුරකුට අධික ලෙස පහරදෙනු ලැබීම නිසා එම රියැදුරා මළේ ය. එවිට වාහන ඉස්සීම වහාම නතර කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ නියෝගයක් නිකුත් කළේ ය. ජනාධිපතිවරයා තවමත් මේ නියෝගය ඉවත් කරගෙන නැත. එහෙත් රටේ ආණ්ඩුවක් නැති බව හැඟෙන විට සියලුම රජයේ නියෝග යට යයි. ලීසිං සමාගමේ මිනිස් බිල්ල සම්බන්ධයෙන් පොල්ගොල්ලේ ජනතාව පාරට බැස විරෝධතා පුවරු ඔසවාගෙන සිටින අයුරු ඊයේ ‘දිවයින’ පුවත්පතේ පළවිය. මෙහිදී තවත් වැදගත් යමක් මතක් කළ යුතු වෙයි. මෙයට මාස කිහිපයකට පෙර තරුණ යුවළක් සහ ඔවුන්ගේ දරුවා ලීසිං පහසුකම් මත ලබා ගත් මෝටර් රථයක යමින් සිටියදී සීසර්ලා පැමිණ රිය නවත්වා රථය පැහැරගෙන යෑමට උත්සාහ කළහ. එවිට මේ පවුලේ පියා වාහනයේ සුක්කානම තරයේ බදාගෙන දැඩි විරෝධයක නිරත විය. එවිට එක් ලීසිං මාරයෙක් ඔවුන්ගේ දරුවා පැහැරගෙන දරුවාගේ බෙල්ල කරකැවීමට තැත් කළේය. මෙය හුණුවටයේ කතාව හා සමාන කතාවකි. සිය දරුවාගේ ගෙල කරකවනු දැකීම මව්පියන්ට දරාගැනීමට නොහැක. එවිට ඔවුනට මෝටර් රථය පමණක් නොව සිය පණ වුව ද පුද කළ හැකිය. ඒ අනුව පියා විසින් මෝටර් රථයේ සුක්කානම අතහරින ලදී. සීසර්ලා වාහනය පැහැරගෙන ගියහ.

ඉන්ධන අර්බුදය නිම වන තුරු ත්‍රිරෝද රථය පැහැර නොගන්නා ලෙස ත්‍රිරෝද රථ හිමියෝ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති. මේ ඉල්ලීම ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති විසින් දැනටමත් රජයට ඉදිරිපත් කර ඇත. ආණ්ඩුව ඉන්නේ ත්‍රිරෝද රථ ඉස්සීම වැළැක්වීමට තරම් කඳ පණ තිබෙන තැනෙක නොවේ. ආණ්ඩුව සිටින්නේ කොයි වෙලාවක හෝ කවරෙකු හෝ පැමිණ තමන් උස්සාගෙන යයි ද යන භීතියෙනි. මේ නිසා ත්‍රිරෝද රථ රියැදුරු සංගමයේ සභාපතිගේ ඉල්ලීම එතරම් ඵල දරන දෙයක් බව අපට නොහැඟේ. මෙහිදී කළ යුත්තේ ජනතාව සංවිධානය වී සීසර් කෙනකු විසින් ත්‍රිරෝද රථයක් හෝ වෙනත් රියක් පැහැර ගැනීමට තැත් කළ විට ඔවුන්ට පහර දී අතපය හතර කඩා හෝ ජනතාවගේ අයිතිය සුරක්‍ෂිත කිරීමය. රුපියල් 157 ට පෙට්‍රල් තිබියදීත් ලීසිං වාරික ගෙවා ගැනීමට මේ රටේ ත්‍රිරෝද රථ රියැදුරන්ට බැරි විය. අද පෙට්‍රල් ලීටරයක් රුපියල් 420 කි. අද ඒ මිලටවත් පෙට්‍රල් නැත. එබැවින් ත්‍රිරෝද රථද පෙට්‍රල් පෝළිම්වල නවතා ඇත. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ ත්‍රිරෝද රථවලට හයර් නැතිවීමත්, ලීසිං වාරික ගෙවා ගැනීමට තබා ජීවත්වීමටවත් ඔවුනට ආදායමක් නොමැති වීමත් ය. මේ නිසා මේ රටේ තිබෙන සියලුම ෆිනෑන්ස් කොම්පැනි ළඟදීම ත්‍රිරෝද රථ පැහැර ගැනීමට පටන් ගන්නවා ඇත. ජනතාව මේ ගැන බරපතළ ලෙස අවදියෙන් සිටිය යුතු අතර වාහන බලෙන් පැහැර ගන්නන්ට දුටුතැන පහර දී එළවා දැමීම ඔවුන්ගේ වගකීමය.

ශ්‍රී ලංකාවේ ලීසිං පනත සංශෝධනය කිරීම ඉතා වැදගත් ය. ලීස් කර ලබා ගන්නා වාහනයක පරම අයිතිකරු වාහනය මිලට ගන්නා නොව ලීසිං සමාගම බවට පත්කෙරෙන වගන්ති ලීසිං පනත යටතේ සකස් කරන කල්බදු ගිවිසුම්වල තිබේ. මේ නිසා ෆිනෑන්ස් කොම්පැනිකරුවන්ට ලීස් කළ වාහන සම්බන්ධයෙන් අපමණ බලතල ලැබේ. මේ බලතල කප්පාදුකර ලීස් කළ වාහනයේ පරම අයිතිකරු එය මිලට ගන්නා තැනැත්තා බවට පත් කළහොත් වාරික නොගෙවීමේ පදනම මත වාහන නැවත අත්පත් කර ගැනීමේදී අධිකරණය හරහා කටයුතු කිරීමට වාහනයේ හිමිකරුට ඉඩ ලැබේ. ලීසිං පනත සකස් කර ඇත්තේ තනිකරම ලීසිං කොම්පැනියේ පැත්තට වාසි හිමිවන පරිදි ය. සීසර් මාරයා මර්දනය කිරීමට නම් මේ පනත සංශෝධනය කළ යුතු බව අපි නැවත වරක් අවධාරණය කරමු. සීසර්ලා කණ්ඩායමක් වාහනයක් පැහැරගත් සැනින් කරනු ලබන්නේ එය ඔවුන්ගේ අංගනයකට ගෙන ගොස් වාහනයේ තිබෙන අලුත් ටයර් ගලවා පරණ ටයර් දැමීමය. ඊළඟට වාහනයේ රේඩියෝව, සීට් කවර, කණ්ණාඩිය, රිවස් කැමරා යන සියල්ලම ඔවුහු ගලවා ගනිති. ලීසිං කොම්පැනිය වෙත වාහනය භාරදෙනු ලබන්නේ ඉන් පසුවය. මේ අසාධාරණයට එරෙහිව ජනතාව එකතු වී වඩා දරුණු ලෙස හැසිරිය යුතු බව අපගේ කල්පනාවය.

advertistmentadvertistment
advertistmentadvertistment