ලෝක විනාශය කල් තබන්නේ කෙසේද?

700

(මාලිගාවත්තේ සිට ඉන්දියාව දක්වා)

ශ්‍රී ලංකාවෙන් පිටත්වී ඉන්දියාවට ගිය අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් බවට සැකකරන සිව්දෙනකු ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදි. සමහරවිට මේ අත්අඩංගුවට ගැනීම ඉන්දියානු පොලිස් ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රියාවලින් එකක් වීමට පුළුවන. එයට හේතුව මේ හතරදෙනා කොළඹ මාලිගාවත්තෙන් ඉන්දියාවට ගොස් ඇත්තේ රහස් දිවුරුමක් දීමෙන් පසුව වීමය. සාමාන්‍යයෙන් ඉස්ලාමීය ත්‍රස්තවාදියෙක් රහස් දිවුරුමක් දෙන්නේ මරාගෙන මැරෙන්නට පෙරය. එල්.ටී.ටී.ඊ. සංවිධානය තම ත්‍රස්තවාදියකු මරාගෙන මැරෙන මෙහෙයුමකට යැවීමට පෙර දිවුරුම් දීමේ ක්‍රමයක් තිබුණේ නැත. ඔවුහු මරාගෙන මැරෙන ගමන පිටත්වීමට පෙර ප්‍රභාකරන් සමග එක්වී ඩිනර් එකක් ගත්හ. එහිදී ප්‍රභාකරන් ඔවුන්ට පුද්ගලිකව අතට අත දී ප්‍රශංසා කර කුඩා සිහිවටනය බැගින් ලබාදී ඔවුන්ගේ පවුල්වල අය ජීවිතාන්තය දක්වාම නඩත්තු කරන බවට පොරොන්දු වූහ. හැබැයි මෙසේ පවුල් නඩත්තු කිරීමට නම් එම ත්‍රස්තවාදීන් ස්ථිර වශයෙන්ම මියයා යුතුව තිබිණ. මරාගෙන මැරෙන්නට කලින් ඔවුන් පොලිසියට හසුවී වෙඩි කා මැරුණොත් ඔවුන්ගේ පවුල්වලට නඩත්තුව සම්පාදනය කෙරුණේ නැත. ලංකාවෙන් ඉන්දියාවට ගිය හතර දෙනා දුන් දිවුරුම මරාගෙන මැරෙන දිවුරුමක් වීමට බොහෝ දුරට ඉඩ තිබේ. එක්කෝ ඔවුන් එම මරාගෙන මැරීම සිදුකරන්නේ ඉන්දියාවේදී ය. නැතිනම් ඔවුන් ලංකාවට පැමිණ මරාගෙන මැරෙන ගේමක් ගහනවා ඇත. පාස්කු බෝම්බ මාලාව පිපිරවීමෙන් සහරාන් මේ රටේ සංචාරක ව්‍යාපාරයට සහ ජාතික ආර්ථිකයට කළ ඩැමේජ් එක ස්වල්ප නොවේ. එමගින් කතෝලික ප්‍රජාව සහ ඉස්ලාමීය ප්‍රජාව අතර වෙනම බෙදීමක් ඇති විය. සහරාන් ගැන කල්තියාම හරි හැටි කරුණු සොයා නොබැලීමේ චෝදනාවට ලක්වූ යහපාලන ආණ්ඩුව පෙරළී ගියේය. ත්‍රස්තවාදය යනු කවදාවත් නැති කිරීමට හැකි දෙයක් නොවේ. එය යට යන නමුත් ස්වල්ප කලකින් නැවත මතුවෙයි. එවිට හෝ එසේ මතුවීමට කලින් හෝ ත්‍රස්තවාදියා මර්දනය කළ යුතුය. ත්‍රස්තවාදියෙක් විනාශ කරනවිට ඔහුගේ බංකරය ද විනාශ කළ යුතුමය. නැතහොත් අලුත් ත්‍රස්තවාදියෙක් පැමිණ එම බංකරයේ පදිංචි වී යළි ගේම පටන් ගනී. ඉන්දියාවට ගිය හතර දෙනාගේ සෙට් එක ගැන සම්පූර්ණ විස්තර ඊයේ ‘දිවයින’ පුවත්පතේ පළවිය. එබැවින් ඒ ගැන වැඩිදුර සාකච්ඡා නොකර ත්‍රස්තවාදය ගැන කතා කිරීමට මේ අවස්ථාව කරගනිමු.

සාමාන්‍යයෙන් ත්‍රස්තවාදය නමැති විනාශකාරී ක්‍රියාන්විතය ලෝකය පුරා පුළුල් ලෙස පැතිර යන්නේ 1980න් පසුවය. ඊට පෙර ද ලෝකයේ විවිධ රටවල ත්‍රස්තවාදී ක්‍රියා සිදුවිය. එහෙත් ඒවා ලෝක ඉතිහාසයට දරුණු ලෙස බලපෑ තීරණාත්මක දේවල් හැටියට ගණන් ගනු නොලැබේ. ත්‍රස්තවාදය යන වචනය ලංකාව තුළ ප්‍රචලිත වන්නේ 1971 ජවිපෙ කැරැල්ලෙන් පසුවය. එය ඒ අවස්ථාවේදී පැවැති රජයත් ජනතාවත් භීතියෙන් ත්‍රස්තවීමට හේතුවක් වූ නමුදු රටේ අනාගතයට බලපෑ තීරණාත්මක සාධකයක් වූයේ නැත. හැබැයි එය ලංකා ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවකි. ත්‍රස්තවාදය නමැති සංකල්පය ක්‍රිස්තු පූර්වයේ දී ආරම්භ වූ බව කියනු ලැබේ. ක්‍රි. පූ. 70දී එනම් මීට අවුරුදු දෙදහසකට පමණ පෙර ජෙරුසලම විනාශ කිරීම සඳහා සංවිධානයක් අටවා ගත් අන්තවාදී යුදෙව් කණ්ඩායමක් මරාගෙන මැරෙන මෙහෙයුම් පටන් ගත්හ. පසු කාලයේදී මෙවැනි කණ්ඩායම් මුස්ලිම් කාලිෆ්වරුන් ඝාතනය කිරීමට මරාගෙන මැරෙන මෙහෙයුම් යොදා ගත්හ. කාලිෆ්වරයෙක් යනු ඉස්ලාමීය රාජකීයයෙකි. එවැන්නෙක් මැරීමට ගිය විට කොහොමටත් පණපිටින් ආපසු ඒමට සිදුවන්නේ නැත. එබැවින් කාලිෆ් මරණ එකාට ස්ථිර වශයෙන්ම මැරුම් කන්නට සිදුවෙයි. එවිට එම මිනීමරුවා කරන්නේ වෙන කෙනකු අතින් මිය යෑමට පෙර තමා අතේ තිබෙන කිණිස්සෙන් ඇනගෙන මිය යෑමය. පසුව මේ මරාගෙන මැරෙන වැඩේ යුරෝපා ඉතිහාසයට ද එකතු විය. 1386දී පැවති යුද්ධයකදී මරාගෙන මැරුණු ස්විස් ජාතිකයකු ගැන ලියැවී තිබේ. 1780දී ලන්දේසි පාලනයට එරෙහිව සටන් කළ ඉන්දියානු කාන්තා හමුදාපතිවරියක් සිය සිරුරේ එළඟි තෙල් තවරා සිරුරට ගිනි තබාගෙන නැඟෙනහිර ඉන්දියානු වෙළෙඳ සමාගමට අයත් ආයුධ ගබඩාවකට පැන්න බවට සාක්‍ෂි ඇත. මෙහිදී ආයුධ ගබඩාව සම්පූර්ණයෙන් පුපුරා ගිය අතර ලන්දේසි ආණ්ඩුවට බරපතළ පාඩු සිදුවිය.

අපගේ වැටහීමට අනුව මරාගෙන මැරීම යනු ලෝකයේ තිබෙන නරකම යුද සම්ප්‍රදාය වේ. මිනිසෙක් නිකම්ම මරාගෙන මැරෙන්නේ නැත. ඒ සඳහා ඔහුගේ මොළය ඉතා දරුණු ලෙස හේදිය යුතුය. සහරාන්ට ඉහළින් සිටින අය සහරාන්ගේ මොළය හේදූ අතර සහරාන් තමන්ට යටින් සිටින අයගේ මොළය හේදුවේය. ප්‍රභාකරන් සිය කමාන්ඩර්ලාගේ මොළය හේදූ අතර ඒ කමාන්ඩර්ලා තමන් යටින් සිටින සෙබළුන්ගේ ඔළුව හේදූහ. මරාගෙන මැරෙන එකාට කිසිම වගකීමක් නැත. එය ඉතා භයානක තත්ත්වයකි. සහරාන් සහ ප්‍රභාකරන් යන දෙදෙනාම මේ අත්දැකීම ඉතා කෲර ලෙස අපට ලබාදී තිබේ. එබැවින් ත්‍රස්තවාදය දුටු තැන එයට එරෙහිව ක්‍රියාත්මක වී ආරක්‍ෂක අංශවලට තොරතුරු ලබාදීම සිවිල් සමාජයේ යුතුකම බව අපගේ මතය වේ. ත්‍රස්තවාදය පැරද විය නොහැකි බව ඇත්තය. හැබැයි එය මැඬ පැවැත්වුවහොත් ලෝක විනාශය කල් දැමීමට අපට හැකි වනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment