යුක්තිය 2 සහ සාපරාධී නිල මැස්සා

901

හිට්ලර් ජීවතුන් අතර සිටියේ නම් නියුරම්බර්ග් යුද අධිකරණයට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට යෑමට ඉඩ තිබුණේද? ඉහත සඳහන් ප්‍රශ්නය අප තුළ හටගන්නේ කන්ජිපානි ඉම්රාන්ද නොබෝදා මානව හිමිකම් කොමිසමට ගිය බැවිනි. කුඩු බිස්නස් සම්බන්ධයෙන් නම් දැරූ පාතාල නායක කන්ජිපානි ඉම්රාන් මේ මොහොතේදී රට තුළ නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසු වූ හෙතෙම මීට මාස කීපයකට පෙර ඇප ලබා එළියට පැමිණීමෙන් පසු පිටරටකට පැන ගියේය. බොහෝදෙනා කල්පනා කරන පරිදි ඔහු බෝට්ටුවක නැගී තමිල්නාඩුවට ගොස් එතැනින් ඩුබායිවලට පැනගන්නට ඇත. ඒ අතර මීට මාසයකට පමණ පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ OIC කෙනෙක් ප්‍රංශයට පැන ගියේය. ඔහු පනින්නේ කන්ජිපානි ඉම්රාන් සහ තවත් කුඩු බිස්නස්කාරයකු විසින් දුරකතන මාර්ගයෙන් කෙරුණු මරණ තර්ජනයක් නිසාය. අන්තිමේදී දැනගන්නට ලැබුණේ පෙරකී OIC දැනටමත් ප්‍රංශ යුද හමුදාවට බැඳී සිටින බවය. මේ කාරණා සැලකිල්ලට ගෙන කන්ජිපානි ඉම්රාන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. OIC තමා බිල්ලට දී රට පැන්න බව ඉම්රාන් සඳහන් කරන අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ද ඉල්ලා තිබේ. කන්ජිපානි ඉම්රාන් මිනීමරුවකු වුවද, අපරාධකරුවකු වුවද, කුඩ්ඩකු වුවද තම අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම සඳහා මානව හිමිකම් කොමිසමේ ආධාරය පැතීම කිසියම් සුබදායක තත්ත්වයකි. තමාගේ නම හැකි පමණින් පිරිසිදු කරගැනීම ඔහුගේ අරමුණ වූ බව පෙනේ. හැබැයි අප මුලින් ද කී පරිදි කන්ජිපානි ඉම්රාන් මානව හිමිකම් කොමිසමට යෑම සමාන වන්නේ හිට්ලර්, නියුරම්බර්ග් යුද අධිකරණයට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට යෑමට ය. එහෙත් හිට්ලර්ගේ කාලයේදී මානව හිමිකම් සඳහා වූ ජාත්‍යන්තර ආයතනයක් ලෝකයේ තිබුණේ නැත. එබන්දක් යාන්තමින් හෝ තිබුණේ නම් හිට්ලර් එය කා දමනවා ඇත. මේ අතර ටිරාන් අලස් සහ දේශබන්දු තෙන්නකෝන් සංවිධානය කරන යුක්තිය අලුත්ම මෙහෙයුම දැන් ආරම්භ වී ඇත. මෙවර එය පාතාල මර්දන ප්‍රහාරක ඒකක 20 න් සමන්විතය. බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන පාතාල කල්ලි 32 ක් මේ වනවිට පොලිසිය හඳුනාගෙන තිබේ. මෙවර යුක්තිය මෙහෙයුමේදී මේ පාතාල කල්ලි 32 කම බිමට සමතලා කර එසේ සමතලා වූ බිමෙහි වෙඩි හුවමාරු සහ කුඩුවලින් තොර අලුත් උද්‍යානයක් ඉදිවනු දැකීම අපගේ විශ්වාසය වේ. යුක්තිය මෙහෙයුමේ පළමු කොටස ක්‍රියාත්මක වීමත් සමගම මෙරට පාතාලකාරයන්ගේ ක්‍රියාකාරකම් දෙගුණ වූ බව අපගේ විශ්වාසය වේ. යුක්තිය මෙහෙයුම පුළුල් වීමට පෙර තම විරුද්ධවාදීන් සහ තරගකරුවන් විනාශ කරදැමීම, මේ පාතාල කණ්ඩායම්වල අරමුණ වන්නට ඇත. කෙසේ වුවද මෝටර් සයිකල්වලින් විරුද්ධවාදීන්ගේ ගෙවල් ළඟට ගොස් වෙඩි තබා පලා යෑමේ පාතාල චාරිත්‍රය තවමත් වෙනස් වී නැත. යුක්තියේ Rate එක ප්‍රවර්ධනය වීමත් සමගම පාතාලකාරයන්ගේ මිනීමැරුම් Rate එකද වැඩි දියුණු විය. අප රජයෙන් ඉල්ලන්නේ සියලුම කුඩු ජාවාරම්කාරයන් සහ පාතාල සාමාජිකයන් බිමට සමතලා කර වළ දැමිය යුතු බවය. ලංකාව ජාත්‍යන්තර පාතාල ගනුදෙනුවලත් පාතාල මිනීමැරුම්වලත් කප් ගහන තත්ත්වයකට පත්වී තිබේ. මේ කප් එකට දුටු තැන වෙඩි තැබීම පොලිසියේ වගකීමය. එසේ නැත්නම් කප් එක ආපසු හැරී ජනතාවට වෙඩි තබනවා ඇත.

ලංකාවේ පාතාලය පාකිස්ථානය, ඉන්දියාව, ඇෆ්ගනිස්ථාන පාතාලය තරමටම කුණුවී තිබේ. එම කුණු ගොඩෙන් නික්මෙන පාතාල නිල මැස්සෝ රට පුරාම සිටින ආධුනික පාතාලකරුවන් තුළ ඉහඳ තබමින් ස්වකීය විෂබීජය නිරාවරණය කිරීමේ යෙදී සිටිති. මේ නිසා හැමවිටම එක පාතාල සෙට් එකක් යනවිට තවත් පාතාල සෙට් එකක් අලුතින් පැමිණෙයි. චීනය සමග යුද්ධ කරන්නට ගියොත් කවදාවත් එය නිම කරන්නට බැරිය. එයට හේතුව එක කොනකින් සතුරන් මරාගෙන එන විට අනිත් කොනින් අලුත් සතුරන් පැන නැගීමය. මේ නිසා යුක්තිය මෙහෙයුම හැකි පමණ පුළුල්කර අපරාධකාරයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරමුන් ඉතා ඉක්මනින් සෝදා හැර භූමිය පිරිසිදු කරන ලෙස අපි ඉල්ලමු. පිරිසිදු කළ භූමියේ අපරාධ නිල මැස්සන් වහන විට උන් හඳුනාගෙන වහාම ෂොට් එක දිය හැක.

advertistmentadvertistment
advertistmentadvertistment