සොබාදහම ෆේල් ද?

1042

ඔමික්‍රෝන් යනුවෙන් අලූත් යමක් ඇති බව මීට දින දහයකට පමණ පෙර වාර්තා වූ විට අප කල්පනා කළේ එය අලූත් අත්ඔරලෝසු බ‍්‍රෑන්ඞ් එකක් විය හැකි බවය. සාමාන්‍යයෙන් stop watch එකක් සහිත අත්ඔරලෝසුවකට chronograph යනුවෙන්ද කියනු ලැබේ. ඕමික්‍රෝන් යනු ක්‍රෝනෝග‍්‍රාෆ් එකක් නොවන බව දැනගත් වහාම එය ආණ්ඩුවෙන් ගෙන්වන නයිට්‍රෝ රජා වැනි නැනෝ පොහොර වර්ගයක් විය හැකි යැයි සමහරු සිතන්නට ඇති. එහෙත් අවසාන විග‍්‍රහයේදී දැන ගන්නට ලැබුණු පරිදි ඔමික්‍රෝන් යනු කොවිඞ් 19 යේ අලූත් වැරයිටියකි. කොරෝනා වෛරස් වර්ග නම් කෙරුනේ ග‍්‍රීක හෝඩියේ අකුරු අනුපිළිවෙලටය. 2019 අවසානයේදී පහළ වූ පළමුවෙනි කොරෝනා වෛරසය ඇල්ෆා නමැති ග‍්‍රීක අකුරෙන් නම් විය. දෙවැන්න බීටා ය. තුන්වැන්න ගැමා ය. හතරවැන්න ඩෙල්ටාය. ඕමික්‍රෝන් නම ලැබෙන්නේ පස්වැනි කොරෝනා වෛරස් වර්ගයටය. ඇල්ෆා නමින් කාර් වර්ගයක් ලෝකයේ තිබේ. බීටා නමින් සංගීත භාණ්ඩ බ‍්‍රෑන්ඞ් එකක් ඇත. ගැමා යනුවෙන් හැඳින්වෙන කිරණ වර්ගයක් තිබේ. ගඟක් මුහුදට එකතුවෙන තැන පිහිටි මෝය සැමවිටම තුන්හුලස් වන අතර එය ඩෙල්ටා ලෙස හැඳින්වේ. ඕමික්‍රෝන් යනුවෙන් හැඳින්වෙන කොරෝනා වෛරසයට අමතරව එනමින් විවිධ වෙළඳ භාණ්ඩ තිබෙන්නට ද පුළුවන. වෙළෙඳ ලෝකයේ ජනපි‍්‍රයම හෝඩිය ග‍්‍රීක හෝඩියයි. එසේම විද්‍යා ලෝකයේ ඇති ජනප‍්‍රියම හෝඩිය ද ග‍්‍රීක හෝඩිය වේ. අකුරු 24 කින් සමන්විත මේ හෝඩිය බිහිවන්නේ මීට අවුරුදු 2800 ට පෙර බුද්ධ කාලයට ආසන්න යුගයේදීය. ග‍්‍රීක හෝඩිය ගැන කිව්වාට අප ඔබට අද කියන්නේ අලූත්ම කොරෝනා වෛරසය වන ඕමික්‍රෝන් ගැනයි. දැනට දැන ගැනීමට ඇති පරිදි පළමුවන කොවිඞ් වෛරසය මෙන් දස ගුණයක හැකියාවක් ඕමික්‍රෝන් වෛරසයට තිබේ.

ඕමික්‍රෝන් මුල්වරට මතුවන්නේ සුදු ජාතිකයන් බහුලව වෙසෙන කළු ජාතිකයන්ගේ රටක් වූ දකුණු අප‍්‍රිකාවෙනි. මේ වෛරසයේ ක‍්‍රියාකාරිත්වය පිළිබඳ තොරතුරු මේ මොහොතේදීත් අධ්‍යයනය කෙරෙමින් පවතී. එහි පැතිරීම පිළිබඳ න්‍යාය ශ්වසන පද්ධතියට බලපෑම් කරන සෙසු වෛරස්වල ව්‍යාප්තිය හා සමානය. ඒ නිසා ඕමික්‍රෝන් වෛරසය තවමත් සමාන වන්නේ ශ‍්‍රී ලංකාවේ ගෑස් සිලින්ඩර් පිපිරිල්ලටය. පසුගිය දින කිහිපය තුළ ගෑස් සිලින්ඩර 20 ක් පමණ මේ රටේ පුපුරා ගියේය. පිපිරිල්ල සිදුවන නමුත් පුපුරන්නේ මක්නිසාදැයි කවුරුවත් නොදනිති. සාමාන්‍යයෙන් යමක් පුපුරන්නේ එය තුළ වර්ධනය වන පීඩනයේ ප‍්‍රතිඵලයක් වශයෙනි. එම පීඩනය හටගැනීම සඳහා එල් පී ගෑස් තුළ කවර විපර්යාසයක් හටගන්නවාද යන්න තවමත් කවුරුවත් හරියට දන්නේ නැත. මෙවැනි වෙලාකදී විශේෂඥ මතවාදීන් සහ අනාවැකිකරුවන් බොහෝදෙනා ලංකාව වැනි ගතානුගතික ආසියානු සමාජ පාත්ති තුළ පහළ වෙති. ගම්මුලාදෑනියාද, වෙද රාළහාමිද, උපාසක තැනද, මේසන් බාසුන්නැහේද වෙනත් සමාජ ක‍්‍රියාධරයන් රැසක් ද මෙවැනි වේලාවල මත පළ කරති. කෙනෙක් කියන්නේ ගෑස් පිපිරීම් පිටුපස විපක්ෂය සිටින බවය. තව කෙනකුගේ මතය වන්නේ ගෑස් පිපිරීමට හේතුව ගෑස් සංයුතිය වෙනස්කර ඇති නිසා බවය. මේ දෙකටම වඩා වෙනස් මතයක් ගම්මුලාදෑනියාට හෝ උපාසක තැනට ඇත. එක්කෝ පෙර පව් පලදීම නිසා ගෑස් සිලින්ඩර පුපුරන බව ඔවුන්ට කීමට පුළුවන. එසේ නැත්නම් දේව සාපයක් නිසා සිලින්ඩර් පුපුරන බව ඔවුන්ට කිව හැකිය. මේ වූකලී සමාජ ප‍්‍රශ්න ගොඩින් හා මඩින් සාකච්ඡුා කිරීමකි. මේ ආකාරයෙන්ම ඕමික්‍රෝන් වෛරසය පිළිබඳව නිසි අධ්‍යයනයක් තවමත් සිදුවී නැත. එංගලන්තයේ වෙසෙන මයික්‍රෝ බයෝලොජිස්ට්ලා හෙවත් ක්ෂුද්‍රජීව විද්‍යාඥයන් ඕමික්‍රෝන් වෛරසය ස්වකීය පර්යේෂණාගාර තුළ වගා කරන්නට පටන්ගෙන තවම දවස් 5ක්වත් නැත. එම වෛරස තුළ ඇති ක‍්‍රියාකාරී සංඝටකය කුමක් ද යන්න සහ එම සංඝටක බුල්ඩෝසර් කළ හැකි වෙනත් සංඝටක මොනවාද යන්න හෙළිකරගත හැක්කේ ඕමික්‍රෝන් වෛරසය විද්‍යාගාර තුළ නිසිලෙස වගාකොට පරීක්ෂා කිරීමෙන් පසුවය. සාමාන්‍යයෙන් කිසියම් අලූත් වෛරසයක් පර්යේෂණාගාර තුළ වගාකර ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වා ඊට ගැළපෙන වැක්සිනයක් නිපදවීම පිණිස අවුරුදු දහයකුත් ඩොලර් බිලියනයක වියදමකුත් යයි. ලෝකයේ දැනට ඇති හොඳම වැක්සීන් නිපදවා ඇත්තේ මේ නිර්නායකයන් මත පිහිටාය. කෙසේ වුවද ඉන්ෆ්ලූවෙන්සා කාණ්ඩයේ වෛරස් සඳහා වැක්සීන නැත. ඒ සඳහා වැක්සීන ඇතොත් එමගින් කෙරෙන්නේ වෛරසය නිසා හටගන්නා ද්විතියික ආසාදන මැඩපවත්වා රෝගියාගේ පරලොව සංචාරය ප‍්‍රමාද කිරීම පමණි.

තෝමස් මැල්තස් නමැති ඉංගී‍්‍රසි අර්ථ ශාස්ත‍්‍රඥයෙක් එක්දහස් හත්සිය ගණන්වල අවසන් කාර්තුවේදී වැදගත් මතයක් ඉදිරිපත් කළේය. එය මැල්තස්ගේ ජනගහන න්‍යාය ලෙස හඳුන්වනු ලැබේ. බෝවීම පාලනය නොකෙරෙන ජනගහනය සෑම අවුරුදු 25 ට වරක්ම දෙගුණ වන බව මැල්තස්ගේ ජනගහන න්‍යායේ සඳහන් ය. එහෙත් මෙය එසේ වීමට ඒ දවස්වල තිබූ ස්වභාවධර්මය ඉඩ දුන්නේ නැත. ලෝකයට දැරීමට බැරි තරම් ජනගහනය වර්ධනය වීගෙන එනවිට ස්වභාවධර්මය කළේ විවිධ වසංගත රෝග, සුළි සුළං, කුණාටු, මුහුද ගොඩගැලීම්, ගිනිකඳු පිපිරීම් ඇතිකොට අතිරික්ත ජනගහනය සංහාරය කිරීමය. මීට අවුරුදු 200කට හෝ 1000 ට පෙර තම අභිමතය ක‍්‍රියාත්මක කිරීමට සොබාදහමට හැකි වුවද අදවන විට ඒ ගේම ඒ ආකාරයෙන්ම ගසා ගැනීමට සොබාදහමට නොහැක. අද වසංගතයක් පැමිණි වහාම අවුරුදු දහයේ පර්යේෂණ කාලය සහ ඩොලර් බිලියනයේ වියදම පැත්තකට දමා ක්ෂණික වැක්සීන නිපදවා මිනිසුන් මරණයෙන් ගලවාගනු ලැබේ. ලෝකයේ සුළි කුණාටු බහුලවම පවත්නා ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ ජනයා එවැනි කුණාටුවක් ඒමට දින තුනකට පෙර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඔස්සේ ඒ ගැන දැනගෙන ආරක්ෂිත ප‍්‍රාන්ත බලා නික්ම යති. ගිනි කන්දක් පිපිරීමට සතියකට පමණ පෙර සිට ගිනි කන්ද අවට ඇති ජනාවාසවල අය ආරක්ෂිත ස්ථාන කරා ගෙනයෑම සිදුකෙරේ. ප‍්‍රදේශය අත්හැර යෑමට අකමැති අය ගෙනයනු ලබන්නේ කනට දෙකක් දී බලහත්කාරයෙන් කුදලාගෙනය. ඒ නිසා ස්වභාවධර්මය මගින් සිදුවන ගැහැට සාර්ථකව පිටුදැකීමට විද්‍යානුකූල මිනිසාට හැකිව තිබේ. ඕමික්‍රෝන් වෛරසයට සිදුවන්නේ ද මේ සන්තෑසියම බව අපගේ වැටහීමය. ඉදිරි මාස කිහිපය තුල ඕමික්‍රෝන් වෛරසයද සෙසු කොරෝනා වෛරස් සමග සමකොට වැක්සීන් බූස්ටරයක් ඔස්සේ පල්ලම් බැස්සවීමට නවීන විද්‍යාවට හැකි වනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment