SLT-MOBITEL ආයතනික යහපාලනය ශක්තිමත් කරමින් නව දුෂ්කෘත නිවේදන ක්‍රියාවලියක් හඳුන්වා දෙයි

75

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, සිය පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන ප්‍රතිපත්ති තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වැඩිදියුණු කළ දුෂ්කෘත නිවේදන ක්‍රියාවලියක් (Whistleblowing Procedure) හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙහි ප්‍රධානතම අංගයක් වශයෙන්, වාර්තා වන සිදුවීම් සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා, SLT-MOBITEL ආයතනයෙන් පූර්ණ වශයෙන් ස්වාධීන නිර්පාක්ෂික දුෂ්කෘත නිවේදන ඒකකයක් ස්ථාපිත කර ඇත.

මෙම නව ක්‍රියාවලිය මගින් SLT-MOBITEL කාර්ය මණ්ඩලයට, බාහිර පාර්ශ්වයන්ට සහ මහජනතාවට, SLT-MOBITEL ආයතනය තුළ කිසියම් සැකකටයුතු සිදුවීමක් නිරීක්ෂණය වූ විට වහාම ඒ බව වාර්තා කළ හැකි වේ. එවිට දුෂ්කෘත නිවේදන ඒකකය මගින් ඒ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පවත්වා විගණන කමිටුව වෙත වාර්තාවක් ඉදිරිපත් කරනු ඇති අතර, එම වාර්තාවේ සඳහන් කරුණු අනුව ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරී සහ ප්‍රධාන විධායක නිලධාරී විසින් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනු ලබනු ඇත.

“මෙය විශිෂ්ටතම ආයතනික පාලන විධිවිධාන ස්ථාපිත කිරීම සඳහා සමාගම දක්වන උනන්දුවට මනා සාක්ෂියක්. ආචාරධාර්මික ආයතනික පාලනය සහ වගකීම්සහගත ආයතනික පුරවැසිභාවය යන සංකල්ප ව්‍යාපාරකරණයේදී අතිශයින් වැදගත් බව අප විශ්වාස කරනවා. මේ සංශෝධිත දුෂ්කෘත නිවේදන ක්‍රියාවලිය සැලසුම් කර ඇත්තේ, සමාගම අභ්‍යන්තරයේ සිදුවන දූෂණ හා වංචා ආදිය සම්බන්ධයෙන් හඬක් නගන්නන්ට ප්‍රතිවිපාක සහ පලිගැනීම් පිළිබඳ බියකින් තොරව ආරක්ෂිත ලෙස එය සිදුකිරීමට අවශ්‍ය පසුබිම සකස් කර දීමටයි. ඉදිරියටත් මේ ආකාරයට ආයතනයේ සියලුරෑම අංශවල ආයතනික යහපාලන විධිවිධාන ශක්තිමත් කරමින් තිරසාර වර්ධනයක් කරා ගමන් කිරීම අපගේ ඉලක්කයයි.” ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති රියාස් මිහුලර් මහතා පැවැසීය.

මෙම නිර්පාක්ෂික දුෂ්කෘත නිවේදන ඒකකයට කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනාංශයේ මහාචාර්ය පවිත්‍රා කෛලාසපති, ශ්‍රී ලංකා සේව්‍ය සම්මේලනයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් නීතීඥ ගෝඨාභය දිසානායක, ස්වාධීන උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන වරලත් ගණකාධිකාරී මොහොමඩ් අවාඩ් සහ ඒකකයේ ලේකම් ලෙස කටයුතු කරන රීටා කර්න් යන මහත්ම මහත්මීහු ඇතුළත් වෙති.

070 568 2121 යන දුරකථන අංකය/WhatsApp අංකය, [email protected] ඊමේල් ලිපිනය සහ තැ. පෙ. 2023, කොළඹ 10 යන ලිපිනය යන ක්‍රම ඔස්සේ මෙම දුෂ්කෘත නිවේදන ඒකකය හා සම්බන්ධ විය හැකි වේ.

Environment” Social and Governance Policies හෙවත් ESG ප්‍රතිපත්ති යනු පාරිසරික, සමාජයීය හා ආයතනික යහපාලන අංශයන් සමබර කරමින් වර්තමාන සහ අනාගත පරම්පරා වෙනුවෙන් වඩාත් යහපත් හෙට දිනයක් උදාකර දීම සඳහා සමාගම් හා ආයතනවලට මගපෙන්වන ගෝලීය රාමුවකි. මේ ආකාරයට නව පරිපූර්ණ දුෂ්කෘත නිවේදන විධිවිධාන එකතුවක් හඳුන්වා දීම තුළින් SLT-MOBITEL පාරිසරික, සමාජයීය හා ආයතනික යහපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙරටට නව ආදර්ශයක් සැපයීමට සමත් වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment