ශාන්ත මරියාට හය වතාවක් පැන්න හොරු කොටුවෙයි

1197


මහරගම ශාන්ත මරියා රෝමානු කතෝලික දේවස්ථානය හය වතාවක් බිඳ ආධාර මුදල් කැට සහ රූපවාහිනී යන්ත්‍ර සොරාගෙන පලාගිය සැකකරුවන් දෙදෙනෙක් මහරගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

2023 වසරේ ගතවූ මාස හයක් තුළ දේවස්ථානය හය වතාවක් බිඳ මෙම සැකකරුවන් දෙදෙනා විසින් එහි තිබූ දේපළ සහ මුදල් කොල්ලකා පලාගොස් තිබූ බවත් මැයි 30, ජූලි 24, අගෝස්තු 14 වැනි දිනයන් වලදී එලෙස සොරාගෙන ගොස් සඟවා තිබූ රූපවාහිනි යන්ත්‍ර හයකින් පහක් සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවද පොලීසිය පැවසීය.

මහරගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අසංක පතිරණ සහ පොලිස් කොස්තාපල් 92521 සමරසිංහ යන නිලධාරීන්ට ලද තොරතුරක් මත එක් සැකකරුවකු මහරගමල පැරකුම් මාවත ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේදී ඔහුට සහය දුන් අනෙක් සැකකරු ඇරව්වල ප්‍රදේශයේ සැඟව සිටියදී රූපවාහිනි යන්ත්‍ර පහක්ද සමඟ අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කීය.

23 සහ 26 වැනි වියේ පසුවන සැකකරුවන් දෙදෙනා මහරගමල පැරකුම් මාවත ප්‍රදේශයේ සහ ඇරැව්වලල පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය පැවසීය.

සැකකරුවන් දෙදෙනා තදින්ම හෙරොයින් මත්ද්‍රව්‍ය පානයට සහ අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවන් බවත් දේවස්ථානයෙන් සොරා ගත් මුදල් සහ රූපවාහිනී යන්ත්‍ර එකිනෙක විකුනා එයින් ලැබෙන මුදලින් මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා සූදානම්ව සිට ඇති බවත් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලීසිය කීය.

සොරාගත් රූපවාහිනි යන්ත්‍ර හයෙන් පහක් සැකකරුගේ නිවසේ සඟවා තිබියදී සොයා ගත් බවත් අනෙක් රූපවාහිනි යන්ත්‍රය කිසියම් පුද්ගලයකුට උගස් තබා ඇති බවත් එම රූපවාහිනී යන්ත්‍රය ද සොයා ගැනීමට පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment