මෙරට වගා බිම්වලින් සියයට 50ක් පමණ හායනයට ලක්වී තිබෙන බව සිදු කළ පර්යේෂණවල දී තහවුරු වී ඇත.
දළ ජාතික නිෂ්පාදනයට දායක වන සියයට 11-33 ක් පමණ වන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ශ්‍රම බලකායට පාංශු හායනයෙන් දරුණු බලපෑමක් සිදුවන බව ද පර්යේෂකයෝ පවසති.
පාංශු හායනයෙන් ජාතික ආහාර සුරක්ෂිතතාවයට දැඩි බලපෑමක් ඇති කරන බවත් මෙරට දිළිඳුකම ඉහළ යෑමට බලපෑම් කරනු ඇති බවත් විද්වත්හු පෙන්වා දෙති. දීර්ඝ කාලීනව ජලාශවල රොන්මඩ තැන්පත්වීම මගින් ජලධාරිතාවය පහළ යෑමට ද පාංශු හායනය බලපා ඇත.
පානීය ජලය, කෘෂි වගාව, විදුලිය නිෂ්පාදනය, භූගත ජල මට්ටම, ඉහළ සංරක්ෂණය ඇතුළු ජල ප්‍රභවයන්ගේ ජල මට්ටම පහළ යෑමේ අවදානම හට ගෙන තිබෙන බවත් දේශගුණික විපර්යාසවලට ජනතාවට මුහුණදීමට සිදුවන බවත් ඔවුහු පවසති. පැයට කිලෝ මීටර් 40 පමණ වේගයෙන් මහ පොළවට ලැබෙන වැසි ජල බිංදු වන ආවරණය ඉවත් කර තිබෙන කලාපවලට පතිතවීමෙන් පාංශු හායනය උග්‍රවී මතුපිට පස් තට්ටුවට දැඩි බලපෑමක් ඇති කරන බව විද්වත්හු පවසති.
පෝෂිත පස් සෙන්ටි මීටරයක් නිර්මාණයවීමට වසර දෙදහසක් පමණ ගත වන බව පෙන්වාදෙන විද්වත්හු වසර මිලියන ගණනක සිට මහ පොළවට උරුමවී තිබෙන පෝෂිත පස් තට්ටුව විනාශ වී යෑම ජාතික ආර්ථිකයට ප්‍රබල පහරක් වනු ඇති බව පවසති.
පෙර කරන ලද පර්යේෂණවලදී කොත්මලේ ජලාශයේ උප පෝෂක ප්‍රදේශයක් වන දොළොස්බාගේ කලාපයේ කරන ලද පර්යේෂණයකදී ආන්තික තේ වතුවලින් වසරකදී හෙක්ටයාර් එකකින් පස් ටොන් 39කට ආසන්න ප්‍රමාණයන් ඉවත් වන බව හඳුනාගෙන තිබේ. ජලාශවල රොන්මඩ තැන්පත්වීම පිළිබඳව සිදු කළ අධ්‍යයනයේදී තේ වතුවලින් වැඩිම ප්‍රමාණය එකතු වන බවද නිරීක්ෂණය වී ඇත.
රන්දෙණිගල ජලාශ අයත් හඟුරන්කෙත උප පෝෂක කලාපයේ සිදු කළ පර්යේෂණවලදී දුම්කොළ වගාව අවිධිමත්ව සිදු කෙරෙන බව පෙර කරන ලද පර්යේෂණවලදී හඳුනාගෙන තිබෙන බවත් මෙම කලාපයෙන් වසරකට හෙක්ටයාර් එකකින් පස් ටොන් 12 කට අධික ප්‍රමාණයක් ඉවත් වන බවත් අධ්‍යයනයේදී හෙළි කර ගෙන ඇත.
අධ්‍යයනය කළ පර්යේෂකයින් පෙන්වා දෙන්නේ පාංශු හායනය අවම කිරීමට ගල් වැටි, කාණු, ක්‍රමවත්ව වැසි ජලය පොළවට උරා ගැනීම සඳහා වන වැස්ම පෝෂණය කළයුතු බවයි. 2030 වසර වන විට භූමි හායනය අවම කිරීමට එක්සත් ජාතීන්ගේ කාන්තාරකරණය පිටුදැකීමේ ප්‍රඥප්තිය ශ්‍රී ලංකාවට තාක්ෂණික දායකත්වය ලබාදෙනු ඇත.
නිමල් ගුණතිලක