පෝද්දල පොලිස් බල ප්‍රදේශයට අයත් වටරැක ප්‍රදේශයේ සංචාරක නිවසක ලැගුම්ගෙන සිටි එංගලන්ත ජාතික විදේශිකයකුට අයත් රුපියල් ලක්ෂ 21ක් පමණ වටිනා පරිගණකයක්, අයිපෑඩයක්, ඔර්ලෝසුවක්, ගෑස් ටැංකි දෙකක්, බෑග් ඇතුළු දේපළ සොරකම් කළ අයෙකු සොරකම් කරනු ලැබූ භාණ්ඩ සමග අත්අඩංගුවට ගත් බැව් පෝද්දල පොලිසිය පවසයි.
මෙකී එංගලන්ත ජාතිකයා මීට මාස හයකට පමණ පෙර මෙරටට පැමිණ ඇති අතර ඔහු වටරැක ප්‍රදේශයේ නිවසක් කුලී පදනම මත ලබාගෙන එම නිවසේ රැඳී සිට ඇත. විදේශිකයා නිදාගෙන සිටියදී නිවසට ඇතුල්වූ මෙම සැකකරු හා තවත් අයෙකු මෙම දේපළ සොරකම් කරගෙන ගොස් ඇති බැව් පොලිසිය පවසයි.
පොලිසිය විසින් නිවසේ සවිකොට තිබූ සී.සී.ටී.වී. කැමරාවල දර්ශන උපයෝගී කරගෙන සැකකරු පියදිගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. ඔහු 24 හැවිරිදි වියේ පසුවන අයෙකි. සැකකරු සොරකම්වලට සම්බන්ධ අයෙකු බව පොලිසිය පවසයි. මෙකී සොරකමට සම්බන්ධ අනික් සැකකරුද අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
සොරකම් කළ සියලු දේපළ පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එම දේපළ එංගලන්ත ජාතිකයාට භාරදීමට පොලිසිය මගින් කටයුතු කරනු ලැබීය. සොරකම් කරනු ලැබූ තම භාණ්ඩ සොයාදීම පිළිබඳ විදේශිකයා පොලිසියට ස්තුතිය කළේය.
පෝද්දල පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. දුමින්ද කුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු හා සොරකම් කරනු ලැබූ දේපළ අත්අඩංගුවට ගත් අතර සැකකරු ඊයේ (04 දා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල