වරකාපොළදී පාසල් තුනක සිසුහු ගැටෙති

41

වරකාපොළ ළමා උද්‍යානය අසලදී පාසල් තුනක 11 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් අතර ඇති කරගත් ගැටුමක් හේතුවෙන් වරකාපොළ අඹේපුස්ස මහා විද්‍යාලයේ සිසුවකු තුවාල ලබා වරකාපොළ රජයේ රෝහල වෙත ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

මෙලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ හැලගල, දංඕවිට ලිපිනයේ පදිංචි වරකාපොළ අඹේපුස්ස මහා විද්‍යාලයේ 11 වැනි වසරේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවෙකි.

මෙම සිසුන් පිරිස whatsapp ගෲප් හරහා කෙටි පණිවුඩ හුවමාරු කර ගනිමින් සිට ඇති අතර එම කෙටි පණිවුඩ හරහා එකිනෙකාට නුරුස්සන ලෙස යවා ඇති කෙටි පණිවිඩ හේතුවෙන් මෙම ගැටුම ඇති වී තිබෙන බව පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

පහර දුන් සිසුන් දෙදෙනා වරකාපොළ ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ හා අලව්ව රාහුල මධ්‍ය මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන සිසුන් වන අතර මොවුන් තිදෙනා වරකාපොළ ප්‍රදේශයේ එකම අමතර පන්තියකට සහභාගි වන සිසුන් තිදෙනෙකි.

පහරකෑමට ලක් වූ සිසුවාට එක් සිසුවකු විසින් පහර දෙන ආකාරයත් තවත් පාසල් සිසුන් පිරිසක් හා අවට රැඳී සිටි පිරිසක් එදෙස බලා සිටින ආකාරය දැක්වෙන වීඩියෝවක් ද මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

මෙලෙස පහරකෑමට ලක්වූ සිසුවා සිය මව සමග 15 වැනිදා උදෑසන වරකාපොළ නගරයට පැමිණ ඇති අතර මව නිවස කරා ආපසු ගිය ද මෙම සිසුවා පසුව නිවෙසට පැමිණෙන බව පවසා වරකාපොළ නගරයේ රැඳී සිටින අවස්ථාවේදී මෙලෙස පහර දුන් සිසුන් පිරිස ඔහුව ළමා උද්‍යානය වෙත කැඳවාගෙන ගොස් මෙලෙස පහරදී ඇති බවට පහර කෑමට ලක්වූ සිසුවාගේ පියා විසින් වරකාපොළ පොලිසියට පැමිණිලි කර තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පාසල් සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ඊයේ (17දා) දින වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ වරකාපොළ පොලිසිය මඟින් සිදු කරනු ලබයි.

වරකාපොළ – සරත් ආනන්ද ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment