225න් කෙනෙක් මීළඟ ජනාධිපති කරගෙන රටට ගොඩයන්න බෑ – ජනක රත්නායක

69

දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 න් එක් අයකු මීළඟ ජනාධිපති ලෙස පත්කර ගැනීමෙන් පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට හැකියාවක් ලැබෙන්නේ නැතැයි ජාතික සිවිල් සංවිධාන පෙරමුණෙන් ජනපති සටනට එන අපේක්ෂක ජනක රත්නායක මහතා පැවසීය.

රට ආර්ථික වශයෙන් පිරිහී බංකොලොත් භාවයට පත්වීමට අවුරුදු 76ක් පාලනය කළ සියලු දෙනා අඩු වැඩි වශයෙන් වගකිව යුතු බවත් 2015 සිට පත්වූ පිරිස වැඩි වශයෙන් වගකීම් භාරගත යුතු බවත් ඒ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පෙරේදා (16 දා) පැවසීය.

ඕනෑම රටක රජයක් විසින් වසර 05ක් හෝ 10ක් යනතෙක් සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 20ක පමණ මිල නොවෙනස්ව පවත්වාගෙන යෑමට දායක විය යුතු බවත්, එවැනි තත්ත්වයක් ඇමරිකාව, ඔස්ටේ්‍රලියාව, එංගලන්තය ඇතුළු රටවල් කීපයක කියාත්මක වන බවත් ඒ මහතා කීය. එවැනි තත්ත්වයක් පවත්වාගෙන යෑම රජයේ වගකීමක් බවත් ඒ අනුව වැඩ නොකරන තාක් රට ගොඩනැඟිය නොහැකි බවත් ඔහු කීය.

2018 වනවිට රටේ වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 9ක්ව පැවැති බවත් මේ වනවිට එය බිලියන 7දක්වා පහළ බැස ඇති බවත් එයට පුරවැසියන් නොව රට පාලනය කරන පිරිස් වගකිව යුතු බවත් රත්නායක මහතා පැවසීය.

දැනට රටේ පවත්වාගෙන යෑමට අදහස් කර ඇති සියයට දෙකක ආර්ථික වර්ධනයක් පැවැතියහොත් 2048 නොව 2200 දීවත් මේ රටේ ආර්ථික වර්ධනයක් ඇති වේ යැයි සිතිය නොහැකි බවත් ඔහු කීය. රට සංවර්ධනය කිරීමට නම් රටේ ජනතාව තුන්වේල කන තත්ත්වයට පත්විය යුතු බවත් දැනට රටේ ජනගහනයෙන් සියයට පනහක් උග්‍ර ආර්ථික හිඟයකින් පෙළෙන බවත් ඒ මහතා පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment