වසර පුරා දිවෙන බක් මහේ අසිරිය

76

දවස් තුන්සිය හැටපහක් ගෙවී තවත් තුන්සිය හැට පහකට මුල පුරන අවස්ථාව සිංහල හින්දු ජනතාව සලකන්නේ ඉතා උත්තරීතර කඩඉමක් ලෙසය. සිංහල – හින්දු අලුත් අවුරුද්ද සමරන මේ කාලපරාසය ද විශාල වෙනසක් පරිවර්තනයක් සිදු වී ඇත.

සොබාදහමේ ද විශාල පෙරැළියක් සිදු වී ඇත. පක්ෂීන්ගේ ගීතවත් මිහිරි නාදය, කොහාගේ අවුරුදු ගීතය, මලින් ඵලින් බර වී ඇති ගස්වැල් ද සියලුම පැළෑටි ප්‍රාණවත් වී සමනලයන්ට පිහාටු සලන්නට කදිම තෝතැන්නක් ද බිහි කොට ඇත.

සිංහල අලුත් අවුරුද්ද ළඟාවීමේ තවත් පෙර සලකුණක් ලෙස ‘ඔංචිල්ලාව’ හැඳින්විය හැකිය. සෑම නිවෙසකම ඔංචිල්ලාවක් බැඳ පුංචි දරුවාගේ පටන් වැඩිහිටියන් දක්වා ඔංචිලි වාරම කියමින් ඔංචිලි පැදීම තවත් පෙනෙන්නට ඇති ලක්ෂණයකි.

‘කතුරු ඔංචිල්ලාව’ අලුත් අවුරුදු සමයේ පෙනෙන තවත් සංකේතයකි. වසර ගණනක සිට ඔංචිලි බැඳීම, කතුරු ඔංචිල්ලා සැකසීම සමාජයෙන් තුරන් වී යන බවක් පෙනේ.

එදා සෑම ගමකම කතුරු ඔංචිල්ලාවක් බැඳ ගම් රාශියක් එතැනට එක් වී ඔංචිලි පැදීම අනුව ගම් අතර පවතින හොඳ හිත තවදුරටත් වර්ධනය වීමට යහපත් යාන්ත්‍රණයක කතුරු ඔංචිල්ලාව සකස් කිරීමට පෙරාතුව බුදුරදුන්ට දෙවියන්ට මල් පහන් පුදා ආශීර්වාද ලබාගන්නේ කතුරු ඔංචිල්ලාව පැදවීමේදී කිසිදු උපද්‍රවයකින් බාධාවකින් තොරව කතුරු ඔංචිලි පැදීමට ආශිර්වාද ලබාගනී.

අවුරුදු සමය උදාවන්නට පෙරාතුව ගම් සියල්ල අප්‍රාණික තත්ත්වයෙන්, ස්වරූපයෙන් පවතී. මේ තත්ත්වය දුරු කරලීම සිංහල – හින්දු අලුත් අවුරුදු සමයේ අභිප්‍රායයි.

අලුත් අවුරුද්ද අප එනතුරු පුල පුලා බලා සිටින්නේ නෑගම් යන්නට යැයි ගැමියෝ පවසති. රසකැවිලි පොදි බැඳගෙන නෑගම් යන්නේ කුමක් සඳහා ද වසරකට වරක් එළැඹෙන මේ කදිම අවස්ථාවේදී ඉතාමත් හිත සතුටින් නෑගම් යන්නේ එකිනෙකාගේ හොඳ හිත දී අන් අයගේ හොඳ හිත රැගෙන එන්නටය.

සිංහල අවුරුද්ද වඩාත් රැඳී ඇත්තේ නගරයට වඩා ගමේය. ගමේ හැම නිවසකම ඔංචිල්ලාවක් බැඳිමෙනුයි අවුරුද්ද ආරම්භ කරන්නේ. එහෙත් අද ගම්වල මේ ඔංචිලි දක්නට ලැබෙන්නේ නැත. දකින්නට ලැබුණොත් එය එක නිවෙසක කලාතුරකිනි. මේ තත්ත්වය මැකී යන්නට ඉඩ දෙන්න එපා. එය රැකගන්නට සමාජය දැනුවත් කළ යුතුය.

සමාජ සංවර්ධනයේ නව මං පෙත් සොයා යන ක්‍රමවේද සකසන්නට අර අඳින සුබකාරක අවස්ථාවක් වශයෙන් ද සිංහල – හින්දු අලුත් අවුරුද්ද හැඳින්විය හැකිය. ආර්ථික සංවර්ධන කාර්යයේදී නව නිම්න සොයා යන අවස්ථාවකි සිංහල අවුරුද්ද. මේ අවුරුද්ද මිනිසාගේ නව සංකල්ප පුබුදාලන්නට ගන්නා උත්සාහයක් වශයෙන්ද හැඳින්විය හැකිය.

සංස්කෘතික උළෙලකින් කරන්නේ සමාජ ප්‍රබෝධයට පදනම දැමීමයි. මිනිසා අතර පවත්නා මතභේද තුරන්කොට එකම කණ්ඩායමක්. එකම පිරිසක් වශයෙන් කටයුතු කිරීමට අවකාශ සලසාදීමයි.

සමාජ සමස්තාර්ථය වන්නේ රට නව නැම්මකට යොමු කිරීමය. සංස්කෘතික උළෙලක් වශයෙන් සිංහල – හින්දු අලුත් අවුරුද්ද මගින් සිදු කරන්නේ රට නව නැමියාවකට බඳුන් කිරීමය.

නව පිටුවක් පෙරැළීම

අවුරුදු සමයේ පන්සලට යන්නේ ඇයි? තමන් කෙරෙහි පවත්නා කෙලෙස් සමනය කොට, තුනී කොට පහන් සංවේග ජනිත කරලීමටයි. ශ්‍රද්ධා භක්තියෙන් යුක්තව ජීවිතය වඩාත් සුවිසාධනීය තත්ත්වයක් ඇතිකර ගැනීමට පන්සල හා පන්සලේ නායක හාමුදුරුවන් සමග සම්බන්ධ වී සාකච්ඡා කොට ජීවිතයට නව පිටුවක් පෙරළා ගනී.

පුද්ගලයා බොහෝ දේ ඉගෙන ගන්නේ සමාජශ්‍රයෙනි. සමාජය සමග ලෙන්ගතුවන්නටද මෙය කදිම අවස්ථාවකි.

මෙයට වසර ගණනකට පෙරාතුව ගම්වල කැට සෙල්ලම්, පංච දැමීම, වළකජු ගැසීම ආදී විවිධ ක්‍රීඩා අවුරුදු සමයේ පාර දෙපස පුරා දක්නට ලැබුණි. ඒ ලක්ෂණය ද අද ගම්වලින් ගිලිහී ගොස් ඇත. මේ තත්ත්වය යළිත් ඇති කරලීමට අපේ සංස්කෘතිකාංග මගින් සිදුකෙරේ.

උත්තර මානව උළෙල

උත්තර මහා උළෙල වශයෙන් ද මෙය හැඳින්වේ. පන්සල්වල ගන්ඨා නාදය ඇසෙත්ම සුබ නැකත මූර්තිමත් වී හද පිරි සතුටින් ජනකාය ඒ ශබ්දයෙන් අමුතු ප්‍රබෝධයක්, පිබිදීමක් ඇතිවීමද නිරන්තරයෙන්ම සිදුවන්නකි.

මානවයාගේ උත්තර මානව ගති ලක්ෂණ පිළිබිඹු කරන සිංහල – හින්දු අලුත් අවුරුද්ද ජීවිතය නමැති පුෂ්පය සුවඳවත් කරන අතර ඒ සුවඳ දසත විහිඳුවන්නට උපස්ථම්භකවන ආකාරය අනවරතයෙන්ම කිවයුත්තකි.

සුවඳ දනවන පුෂ්පය සමනලයන්ද, විවිධ පක්ෂීන්ද, ප්‍රබෝධමත් කරන්නේ යම්සේද අවුරුදු සමයේ ජන හදවත්වලින් හමන සුවඳ ආශ්‍රයෙන් සිංහල හින්දු අය පමණක් නොව සමාජයේ සෙස්සන්ද සුවඳවත් වන්නට මං පාදයි.

මානුෂීය ගුණාංග

වසරකට වරක් එළඹෙන අවුරුදු උළෙලින් මානුෂීය ගුණාංග මතුකොට මිනිසා ශික්ෂණයෙන් හා මනසෙන් උපයුක්ත කරන්නටද මෙය අතිශයින්ම ඉවහල් වේ. බොහෝ සමාජගත සන්සිද්ධි එකට ගළපා කිරා මැන බලා සසඳා කිසියම් තිර නිගමනයකට එළැඹෙන්නට මං පෙත් විවර කරන සිංහල අවුරුදු උළෙල ජනකාය ලත් මහත් දායාදයක් වශයෙන් හැඳින්වූවහොත් එය එතරම්ම නිවැරදිය.

උත්තර මානව සැණකෙළියකට පරිවර්තනය වී ඇති සිංහල අවුරුද්දට අදාළ සංස්කෘතික ලක්ෂණ, සිරිත්-විරිත් දිය වී යන්නට ඉඩ නොතබා ඒවා තවදුරටත් රැකගැනීමට වගබලා ගැනීම ජනතාවගේ කාර්යයයි.

මහා පාඩම් පොතක්

සිංහල අවුරුද්ද වූ කලි සංස්කෘතික ලක්ෂණවලින් යුත් මහා පාඩම් පොතකි. අවුරුදු අසිරිය හෙළිකරන සංස්කෘතික ලක්ෂණවලින් උපයුක්ත මේ මහා පාඩම් පොත හැමදෙනාම පරිශීලනය කොට වසරින් වසර නව මුහුණුවරකින් ද මෙතෙක් කල් පවත්වාගෙන ආ සම්ප්‍රදායයන් හා සිරිත් එලෙසම රැකගන්නට වග බලා ගැනීම කාගේත් යුතුකමයි.

වසර පුරා දිවෙන බක් මහේ අසිරිය

ගොතටුව පාරමිතා ශ්‍රී මහා බෝධිමළු විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත
අරම ශ්‍රී ධම්මතිලක නාහිමි


advertistmentadvertistment