රැප් කලාවේතාරුණ්‍යයේ උන්මාදය – කයිසර් කයිස්

63

රැප් කරන්න නුවර ඉඳන් කොළඹ ආපු කොල්ලා

සංගීත ක්ෂේත්‍රය තුළ රැප් කලාව කියන්නේ” මෑත කාලයේ නව පරපුර අතර වඩාත් ජනප්‍රිය කලාවක් මෙන්ම කවුරුත් වඩාත් ප්‍රිය කරන දෙයක්. ඉතිං මෑත කාලයේ මේ රැප් කලාවේ කිරුළු පළඳා සිටින බොහෝ දෙනෙක් ආදරය කරන රැප් ගායකයෙක් වන “කයිසර් කයිස්” සමගින් ඔහුගේ සංගීත ජීවිතයේ අලුත් විස්තර මෙන්ම ඔහුගේ පෞද්ගලික ජීවිතයේ අලුත් තොරතුරු ද දැනගන්නට කැමැත්තෙන් සිටින ආදරණීය රසික රසිකාවියන් වෙනුවෙන්ම මෙවර අපි “කයිසර්”ට කතා කරන්නට හිතුවා.

● කයිසර් මේ දවස්වල හරිම කාර්යබහුලයි වගේ නේද?

ඔව්. මේ දවස්වල වැඩ ටිකක් කරගෙන යනවා. ඒත් එක්කම ෂෝස් වගේකුත් තියෙනවා. ඒ වැඩත් එක්ක තමයි ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ.

රැප් කලාවේතාරුණ්‍යයේ උන්මාදය - කයිසර් කයිස්

● මෑතකදී විදෙස් සංචාර එහෙමත් තියෙනවද?

ඔව්. මේ මාසේ සිංගප්පූරු සහ නවසීලන්තයට යන්න තියෙනවා. ඊට පස්සේ මාර්තු මාසෙ ජපන් සහ එංගලන්තේ යනවා. ඒ වගේ තව තව ප්‍රසංග ටිකක් තියෙනවා. බලමු” සෝෂල් මීඩියා තුළින් මම ඉස්සරහට කියන්නම් අලුත් ෂෝස් මොනවද තියෙන්නෙ කියලා.

● පවුලේ විස්තර ගැනත් කියමු?

මගේ ගම නුවර. මම පාසල් ගියේ වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලයට. මගේ පවුලේ ඉන්නේ” අම්මයි” තාත්තයි” අයියයි” මමයි. අම්මයි තාත්තයි නම් ඉන්නෙ නුවර. අයියයි මමයි තමයි කොළඹ ඉන්නේ.

● කයිසර් කියන්නේ ඇත්තම නමද? එහෙමත් නැත්නම් අන්වර්ථ නාමයක්ද?

මගේ ඇත්ත නම අමිල රුවන්ගේ. මම මේ ක්ෂේත්‍රයට එන්න කලින්ම මගේ නම වෙනස් කරගෙන තිබුණේ කයිසර් කියලා.

●රැප් කලාව හදාරලා තියෙනවද?

නැහැ. මෙහෙමයි ඉතිං ඔය වචන ලියන ඒවා ඔක්කොම කාලෙත් එක්ක තමයි හැදෙන්නේ. හැදෑරීමක් කරනවා කියලා එහෙම ලොකුවට කරලා නැහැ. අත්දැකීම් එක්ක තමයි ඒ දේවල් ටික ටික ප්‍රගුණ වෙන්නේ. රැප් කලාව ගැන ඉතින් මේ ක්ෂේත්‍රයේ ඉන්නකොට ටික ටික අධ්‍යයනය වෙනවා.

● පාසල් යන කාලේ සංගීතය විෂයක් විදියට හැදෑරුවද?

නැහැ. මම පාසල් යද්දි හැදෑරුවේ නැටුම් විෂය.

● ක්ෂේත්‍රයට ඇවිල්ලා කොච්චර කල්ද?

මම මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ 2004 විතර. ගීත කරන්න පටන් ගත්තේ 2006 විතර ඉඳලා.

● සංගීත ක්ෂේත්‍රයේ මෙතෙක් ආ ගමන් මඟ ගැන සහ අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම සතුටුයි. මම කවදාවත් හිතුවේ නෑ මේ රැප් කලාව මගේ ජීවිකාව කරගන්න පුළුවන් වෙයි කියලා. කොහොම හරි ඉතින් ඒක වුණා. ඒ නිසා සතුටින් ඉන්නවා. මොකද තමන් කැමැතිම දේ රස්සාව විදියට කරගන්න ලැබුණා කියන්නෙම මම ගොඩක් වාසනාවන්තයි.

● පුංචි කාලෙ ඉඳලම තිබුණ හීනයක්ද අද මේ සැබෑ වෙලා තියෙන්නේ?

මට මතක ඇති කාලෙ ඉඳලම මට ඕන වුණේ රැපර් කෙනෙක් වෙන්න.

● කයිසර් හිතුවද කවදා හරි දවසක තමන්ගේ දක්ෂතා පෙන්වන්න පුළුවන් වෙයි කියලා?

මෙහෙමයි” මම සිංහලෙන් විතරක් රැප් කරන නිසා සහ අනෙක් භාෂා වැඩිය දන්නේ නැති නිසා පොඩි ප්‍රශ්නෙකුත් තියෙනවා. ඒ වුණාට මම ඉරාජ් සහ ෂෝන් කිංස්ටන්ලා එක්ක ඉන්න කාලේ ජාත්‍යන්තර මට්ටමේ වැඩත් කරලා තියෙනවා. අපි බලමු ඉතින් ඉස්සරහටත් තව ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණ ටිකක් කරන්න. දැනටමත් ඒ ගැන ටිකක් කතා කරගෙන යනවා.

● කයිසර් සින්දු කියන්නේ දිනේෂ් එක්ක විතරමද?

නැහැ. මේ අන්තිමට ආපු ගීත ටික තමයි මමයි දිනේෂුයි කළේ. ගොඩක් ෂෝවලට අපි දෙන්නව එකට ඉල්ලන්න ගත්තා. ඒක නිසා අපි දැන් එහෙමම කරගෙන යනවා. දිනේෂ් සහ මම තනියමත් ප්‍රසංග කරනවා. ඉතින් අපි දෙන්නගේ වෙනම සෝලෝ කැටගරි එකක් තියෙනවා. කොහොම හරි ඉස්සරහටත් අපි දෙන්නගෙ තව වැඩ කිහිපයක්ම එන්නත් තියෙනවා. ඉතින් දිගටම අපි දෙන්නා මෙහෙමම වැඩ කරගෙන යයි වගේ.

● කයිසර් සහ දිනේෂ් කියන මේ සුසංයෝගය ගැන කතා කළොත්?

මම දිනේෂ්ව 2016 විතර ඉඳලම දන්නවා. අපි දෙන්නා ඇත්තටම ගොඩක් වැඩ කරලා තියෙනවා. 2016ත් අපි දෙන්නා සිංදුවක් කළා. හැබැයි ඒක රිලීස් කරන්න බැරිවුණා. ඊට පස්සේ වෙරළු මල් ගීතය තමයි අපි දෙන්නා එකට රිලීස් කළේ. ඒක හිට් වුණා. ඉතිං ඇත්තටම දිනේෂ් කියන්නේ හොඳ යාළුවෙක්. music කරද්දි වුණත් මාර විදිහට මාව පුෂ් කරනවා. දිනේෂ් හරිම හාඩ්වර්කින්. අපිවත් ඉතිං ඒ තත්වයට ඇදලා ගන්නවා. කොහොමහරි දිනේෂ් කියන්නේ සංගීත ක්ෂේත්‍රයේදී වගේම මගේ පෞද්ගලික ජීවිතයෙත් මට ඉන්න හොඳ” අවංක යාළුවෙක්.

● කයිසර්ගේ ජීවිතේ හැරුවුම් ලක්ෂ්‍යය මොකක්ද?

මම හිතන්නේ” මම ඉරාජ් එක්ක කරපු “ස්වීටි මැණිකේ” ගීතයට කරපු වර්ස් එක තමයි. ඒක තමයි ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය වුණේ. ඒකත් එක්ක මිනිස්සු ගොඩක් මාව අඳුර ගත්තා. එතනින් පස්සේ මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුණා.

● කයිසර් මෑත කාලයේ එකපාරටම ජනප්‍රිය වුණේ බූස්ට් කරලද?

නැහැ. මම පොඩි විවේකයක් ගත්තා මගේ පෞද්ගලික ජීවිතයේ තිබුණ පොඩි ප්‍රශ්න ටිකකුත් එක්ක. ඒ විවේකයෙන් පස්සේ මට කරන්න ලැබුණ පළවෙනි ගීතය වුණේ” භාතිය සන්තුෂ් වැනි දැවැන්තයෝ දෙන්නෙක් එක්ක එයාලගේ “උන්මාද ප්‍රේම ගීය” කියන ගීතය. ඒ ගීතයත් එක්ක තමයි මම එකපාරටම බූස්ට් වෙලා උඩට ආවේ.

● කයිසර්ට හැමදාමත් ශක්තියක් වන ආදරවන්තියවත් අපි මතක් කරමු?

ඇත්තටම එයා මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. මොකද හැමෝටම ජීවිතේ හොඳ පාට්නර් කෙනෙක් ඉන්නම ඕනෑ. එයාගෙන් මට ලැබෙන සහයෝගය ගොඩක් වැදගත්. මොකද අපිව ගොඩක් තේරුම් ගන්න ඕනෑ. මේ වෙලාවෙත් මම ගෙදර නැහැ. දැනුත් ෂෝ එකකට ඇවිල්ලා ඉන්නේ. එහෙම මාව තේරුම් අරගෙන මට සහයෝගය ලබා දීගෙන ජීවත් වෙන කෙනෙක් ලබපු එක මගේ ජීවිතයට මම ලබපු ලොකු හයියක්.

● එතකොට වෙඩින් එක කවදද?

බලමුනේ. කට්ටියටම ඒක ඉදිරියේදී දැනගන්න ලැබෙයි. මොකද මට තව ටාර්ගට්ස් ටිකක් තියෙනවා. ඊට පස්සේ වෙඩින් එක ගැන හිතනවා.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment