සති 4 න් ගේනවා කී වීඩියෝ සාක්‍ෂි මාස ගාණක් ගියත් නෑ

268

සති හතරක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන බවට පොරොන්දු වූ වීඩියෝ සාක්‍ෂි මාස ගණනාවක් ගතවූ පසුවවත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (4 දා) නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියකට අප්‍රසාදය පළ කළේය.

රට තුළ සිදුවන මහජන විරෝධතා මැඬපැවැත්වීම සඳහා ජනතාවගේ මානවහිමිකම් උල්ලංඝනය කරමින් යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ මැදිහත්වීම සෘජුව හා වක්‍රව උපයෝගී කර ගැනීමට අප්‍රසාදය පළ කරමින් විරෝධතා පුවරුවක් ප්‍රදර්ශනය කළ නීතිඥවරයකුට අයුතු බලපෑම් කිරීමකට එරෙහිව පවරා තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස අප්‍රසාදය පළ කළේය.

පසුගිය ජුනි 30 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වෙන අතරතුරදී විරෝධතා පුවරුවක් ප්‍රදර්ශනය කළ නීතිඥ අජිත් කුමාර මහතාට ගාල්ල යුද හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් එලෙස බලපෑම් කර තිබිණි. ඔහු අත තිබූ විරෝධතා පුවරුව යුද හමුදා නිලධාරියකු විසින් ඉරා දමා ඔහු පිටියෙන් ඉවතට තල්ලුකොට තිබූ බවට පැමිණිලි කරමින් නීතිඥ අජිත් කුමාර මහතා හා නීතිඥ පී. අමරදිවාකර මහතා විසින් ගොනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම එස්. තුරෙයි රාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේදී කැඳවිණි. ඒ සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට දින ලබාදෙන ලෙසට රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඉඳුනි පුංචිහේවා මහත්මිය කළ ඉල්ලීමට අවසර ලබාදුන් විනිසුරු මඩුල්ල සති හයක් ඇතුළත ප්‍රතිවිරෝධතා ගොනු කරන ලෙසට පැමිණිල්ලට නියෝග කළේය.

පෙත්සම සලකා බැලීම ලබන වසරේ මාර්තු 5 වැනිදා දක්වා කල්තැබීමට ද විනිසුරු මඬුල්ල නියෝග කළේය. නීතිඥ මංජුල බාලසූරිය මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment