අභියෝග මැද නොසැලුණු හෙළ කත සිරිමාවෝ

387

අප මාතෘ භූමියට පූර්ණ ස්වාධීනත්වය උදාකර දෙමින් ශ්‍රී ලංකා ස්වෛරී ස්වාධීන ජනරජය බිහිකරන්නට තම රාජ්‍ය නායකත්වය ලබාදුන් ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනියගේ 23 වන ගුණ සමරුව අද (10දා) ට යෙදී තිබේ.

මහනුවර බාන්ස් රත්වත්තේ දිසාව හා මහවලතැන්න වලව්වේ මහවලතැන්නේ කුමාරිහාමිගේ දියණිය ලෙස 1916 අප්‍රියෙල් 17 වන දින ජන්ම ලාභය ලද ඇය බාන්ස් (කනිෂ්ඨ) පැට්ටී්‍රෂියා, මැකී, සීවලි සහ ක්ලිපඩ් යන සහෝදර සහෝදරියන් ගේ පවුලේ වැඩිමහල් දියණිය වූවාය. රත්නපුර පර්ගියුෂන්, කොළඹ ශාන්ත බි්‍රජට් කන්‍යාරාමයහි ද අධ්‍යාපනය හැදෑරුවාය. හොරගොල්ලේ මහමුදලි තැන්පත් ශ්‍රීමත් සොලමන් ඩයස් බණ්ඩාරනායක සහ ඩේසි (ඔබේසේකර) බණ්ඩාරනායක යුවළගේ පුත් සොලමන් වෙස්ට් රිජ්වේ බණ්ඩාරනායක සමග 1940 ඔක්තෝබර් 03 වැනිදා එතුමිය විවාපත් වූවාය. විවාහයෙන් ඉක්බිතිව එතුමිය ජනතාව හා ප්‍රජාවගේ ජීවන තත්ත්වය නංවාලීමට වූ විවිධ සමාජ කටයුතුවලට මෙන්ම තම සැමියාගේ දේශපාලන ගමනට ද ඇය උරදුන්නාය. ලංකා මහිලා සමිතිය තුළ විවිධ තනතුරු එතුමිය අගමැති පදවියට පත්වන තුරුම හෙබවූවාය.

1959 සැප්තැම්බර් 26 වෙනිදා උදේ 7.55ට තම සැමියාවූ අගමැති එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා වෙඩි ප්‍රහාරයකින…. දැයට සමුදුන්නේ මුළු රටම සෝ සයුරේ ගිල්වමිනි.

එම අභාවයෙන් පසු ශ්‍රීලනිලය ඉදිරියට රැගෙන යෑම සඳහා බණ්ඩාරනායක මැතිනියට වැඩි වගකීම පැවරීමටත් අත්තනගල්ල ආසනයට ඇය තරග කරලීමට ඉදිරිපත් කරලීම ගැන ද සාකච්ඡා සිදු කළහ. ඒ වනවිට වැඩ බැලූ රටේ අගමැතිවරයා වූ ආචාර්ය ඩබ්. දහනායක මහතාගේ උපදෙස් මත එවක ආණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක විසින් එම ආණ්ඩුව විසුරුවා හැරිණි. ඒ අනුව 1960 පැවැති මැතිවරණයෙන් ඉක්බිතිව ඩඩ්ලි සේනානායක මහතාගේ අගමැතිත්වයෙන් එජාප රජයක් බිහිවීම සිදුවුවත් පාර්ලිමේන්තුවේ කතානායක තෝරන අවස්ථාවේදී රජය පරාජයට පත්වීම අසුබ ලකුණක් ගෙන දුන්නේය.

එහිදී සර් ඇල්බට් ඇෆ් පීරිස්ගේ නම ආණ්ඩු පක්ෂයෙන් ද කටුගම්පොල මන්ත්‍රී ටී. බී. සුබසිංහ මහතාගේ නම විපක්ෂයෙන් ද ඉදිරිපත් කෙරෙණි. සුබසිංහ මහතාට ඡන්ද 93ක් ද සර් ඇල්බට්ට ඡන්ද 60 ක් ලැබී ආණ්ඩුව පරාජයට පත්විය. තවද එම රජයේ ආයුකාලය දින 35 කට සීමාකරමින් රාජාසන කතාව පිළිබඳව ස්තුති යෝජනාවෙන් ආණ්ඩුව පැරැදීම නිසා මැතිසබය විසිරුවාහරින ලෙස අගමැති ඩඩ්ලි අග්‍රාණ්ඩුකාරවරයාට උපදෙස් දුන්නේය. ඒ අනුව 1960 ජූලි පැවැති මහ මැතිවරණයෙන් ශ්‍රීලනිපය ආසන 75 ක් දිනාගත් අතර එජාපයට ආසන 30 ක් හිමි විය. එම ඡන්දයට වාමාංශික පක්ෂ ශ්‍රීලනිපය හා තරග නොකිරීමේ එකඟත්වයට එළඹ සිටියහ.

මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබුවද සිරිමාවෝගේ දේශපාලන ආගමනය ව්‍යවස්ථාමය කරුණු කිහිපයක් සම්පූර්ණ කරලීමේ අර්බුදයක් ද හටගෙන තිබිණි. ඒ අනුව ඇය පහළ මන්ත්‍රී මණ්ඩලය (එවක පැවැති සෙනෙට් සභාවේ) තුළද සාමාජිකාවක ලෙස දිවුරුම් දීමට ඇයට සිදු විය.

ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන ඓතිහාසික සිදුවීමකට මුලපුරමින් ලොව ප්‍රථම අගමැතිනිය ලෙස එතුමිය 1960 ජූලි 21 වෙනිදා ප. ව.1.40ට දිවුරුම් දුන්නාය.

එකොළොස්වන පොදු රාජ්‍ය මණ්ඩලීය අග්‍රාමාත්‍ය සමුළුවට 1961 මාර්තු 17 දින ලන්ඩනය බලා යෑම ඇගේ ප්‍රථම රාජ්‍ය නිල චාරිකාව වූයේය. එම වසරේම යුගොස්ලෝවියාවේ බෙල්හේඩ්හී පැවති ප්‍රථම නොබැඳි නායක සමුළුවට ද ඇය එක් වූවාය.

තම දේශපාලන දිවියේ අරම්භක කාලපරාසය තුළ තම සැමියා මෙන්ම සතුරු බලවේග වලට ඇය ද මුහුණ දුන්නාය. 1962 ජනවාරි 27වැනිදා අනාවරණය වූ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය හමුවේද ඇය රාජ්‍ය පාලනය මෙහෙයවූ අන්දමද ඉතිහාසයට එක්ව තිබේ.

ජාතියේ අසහාය නායිකාවක බවට පත්වෙමින් එතුමියගේ නායකත්වය යටතේ පාසල් රජයට පවරා ගැනීම, මහජන බැංකුව පිහිටුවීම, ලංකා බැංකව හා රක්ෂණ ව්‍යාපාරය ජනසතු කර රක්ෂණ සංස්ථාව පිහිටුවීම, ඛනිජ තෙල් ව්‍යාපාරය පවරා ගැනීම, මෙරට මුහුදු සීමාව සැතපුම් 200 දක්වා දීර්ඝ කිරීම, කච්චතිව් දූපත අප රට සතුකර ගැනීම, රටක් නැති ඉන්දියානුවන්ගේ ප්‍රශ්නය නිරාකරණට ක්‍රියා කිරීම ද එතුමියගේ ‘නම’ හා පාලන කාලය සිහිවෙත්දී අප මතකයට නිරතුරුව එති.

පත්තර පනත වැනි ක්‍රියාදාම නිසා මැතිනියගේ එම රජය ද බරපතළ අර්බුදයකට මූණ දුන්නේය. ඒ අනුව එම රජයේ හයවැනි රාජසන කතා ස්තුති යෝජනාවේ දී එක් ඡන්දයකින් ආණ්ඩුව පරාජයට පත්විය. එම රජයේ ඇමැති පදවියක් හෙබවූ සී. පී. ද සිල්වා සමග 14ක් අස්වීම නිසා එම ආණ්ඩුව දෙදරායන්නට හේතු වූවේය.

ඉක්බිතිව 1965 මැතිවරණයෙන් පරාජයට පත්වූ ඇය 1970 මැයි මස 27 පැවැති මහ ඡන්යෙන් 3/2ක ජනබලයක් සහිතව (ආසන 106 න් 90 ක් ජයගෙන) ඇය දෙවන වරට බලයට පත් වූවාය. එම ජයග්‍රහණය ඇගේ සැමියා 1956 ලද ජයග්‍රහණය යළි සිහි කිරීමක් බඳු වූයේය.

බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් පූර්ණ නිදහස අප රටට ලබාදීමට 1972 මැයි 22 වෙනිදා සම්මත කළ ජනරජ ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ස්වෛරී ස්වාධීන රාජ්‍යයක් බිහිකරලීම එතුමිය නායකත්වය දුන්නාය.

මුල සිටම නොබැඳි රටක් ලෙස ලෝකය ඉදිරියේ අප මාතෘභූමිය අභිමානයෙන් ඔසවා තබන්නට ක්‍රියා කළ එතුමිය 1970 සැප්තැම්බර් 6 වෙනිදා ලුසාකා නුවර පැවැති නොබැඳි සමුළුවේ උප සභාපති ධුරයට පත් වූවාය. ඉන්දියානු සාගරය සාම කලාපයක් පිළිබඳ යෝජනාව ද එහිදී සම්මත විය.

එක් පුද්ගලයකුට තමා සන්තකයෙහි තබා ගත හැකි ඉඩම් සීමාකරමින් තමන් සතු ඉඩම් ද රජයට පවරාදෙමින් ඉඩම් ජනසතුව හෙක්ටර් කොබ්බෑකඩුව අමාත්‍යවරයාගේ මෙහෙයවීම මත සිදුකරමින් එතුමිය රන් පවුම් සමාගම් වතු ජනසතු කරලීමට ක්‍රියා කළාය.

දේශීය කෘෂි හා නිෂ්පාදන ආර්ථිකයට මුල්තැන දෙමින් රට තුළ කර්මාන්ත බිහිකරමින් හා පැවැති දේශීය කර්මාන්ත රැකදීමට මුල්තැන දුන් එතුමිය විවිධ සංස්ථා බිහි කළාය. පූගොඩ, තුල්හිරිය, මින්නේරිය, පෙහෙ කම්හල්, චිත්‍රපට සංස්ථාව ඇරැඹීම, සමුපකාර සේවක කොමිෂන් සභාව ආදී බොහෝ ආයතන පිහිටුවීම ද එදා සිදු විය.

1976 මෙරට පැවැති නොබැඳි සමුළුවේදී එහි සභාපති ධුරයට පත්වූ එතුමිය රටවල් 86ක රාජ්‍ය නායකයන් හමුවේ මෙරට අභිමානවත් බව පසක් කළ නායිකාවක වූ අන්දමද අපට මතකය. 1971 අප්‍රියෙල් කැරැල්ල වැනි රටේ බරපතළ සංසිද්ධි හමුවේ එතුමිය අගමැතිනිය ලෙස ක්‍රියා කළ ආකාරය ද අමත කළ නොහැක. එහෙත් ආර්ථික කළමනාකරණයේ ගැටලු, ආහාර පෝලිම්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල හිඟය, විරැකියාව ආදී අර්බුද මැද ඇගේ රජයට මහජන කළකිරීම් ඇතිවීම නිසා විපක්ෂය වටා ජනතාව ඒකරාශීවීම් සිදුවන්නටද වූයේය. එහෙත් ඇය එදා ගත් පියවරයන් දීර්ඝ කාලීනව රට ස්වයංපෝෂිත කරලීමට ගත් උත්සාහයක් ලෙස ඇතැම් දේශපාලන විචාරකයෝ පවසනු ලබති.

චීන රජය විසින් පිරිනමන ලද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ද ඇගේ පාලන කාලය තුළ රටට ලැබිණි. එහි සමාරම්භය 1973 මැයි 7 වෙනිදා සිදුවිය. යාපනය විශ්වවිiාලයද 1974 දෙසැම්බර් 9 වෙනිදා ඇය විවෘත කළාය. ජාත්‍යන්තර නියමයන්ට ඇරැඹුණු බණ්ඩාරනායක ජාත්‍යයන්තර අභ්‍යාස මධ්‍යස්ථානය 1974 දෙසැම්බර් 9 වෙනිදා ඇය විවෘත කළාය.

1977 මහා මැතිවරණයෙන් නව රජයක් බලයට පත්විය. එම රජය මගින් ඇගේ පාලන කාලය තුළ බලය අනිසි ලෙස යොදා ගැනීම පිළිබඳ විමර්ශනය සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කෙරිණි. ඇයට සහ ඇගේ ප්‍රබල ඇමැතිවරයකු වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක යන දෙදෙනාට එරෙහිව කොමිසම තීරණයක් ලබා දුන්නේය. ඒ අනුව ඇයගේ සහ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය වසර 7 කට අහිමිකිරීමට වූ යෝජනාව 1980 ඔක්තෝබර් 16 දින පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණි. එම යෝජනාවට පක්ෂව ඡන්ද 139 ක් ද විරුද්ධව 19 ක් ද ලැබිණි. ශ්‍රීලනිපය සහ ද්‍රවිඩ එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු ඊට එරෙහිව ඡන්දය දුන්හ. ප්‍රජා අයිතිය ද අහිමි කරන ලද නමුත් ඉන්ද්‍රඛීලයක් ලෙස පොදු ජනතාව වෙනුවෙන් නොසැලී ක්‍රියා කළාය. 1986 ජනවාරි 1 වෙනිදා ඇගේ සිවිල් අයිතිවාසිකම් ප්‍රතිෂ්ඨාපනය කෙරිණි.

1994 තම දියණිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය පිහිටවූ පොදුජන එක්සත් පෙරමුණු රජයේ අගමැතිනිය ලෙස 1994 නොවැම්බර් 14 වෙනිදා ඇය යළිත් පත් වූවාය.

මුළු ලොවින්ම පැසසුම් ලැබ අභියෝග හමුවේ අයෝමය ගැහැනියක රාජ්‍ය නායිකාවක ලෙස එතුමිය රටට හෙළ කාන්තා පරපුරට දුන් ගෞරවය අමතක නොවන්නකි. සුනේත්‍රා, චන්ද්‍රිකා, අනුර දරු ත්‍රිත්වයට පමණක් නොව රටටම මවක වූ මේ උත්තම කත (නායිකාව) 2000 ඔක්තෝබර් 10 දින අපෙන් සමුගත්ත ද මරණයෙන් ද අමරණීය වන දුර්ලභ නායකයින් මිනිසුන් අතරේ ඇගේ නමද නොමැකී පවතින්නේය. එතුමියට නිවන්සුව පතමි.

ආචාර්ය සසිඳු මහානාම

advertistmentadvertistment
advertistmentadvertistment