බිග් මැච් වසන්තය සහෝදරයන්ගේ සටනෙන් අද ඇරඹේ

83

පාසල් මහා ක්‍රිකට් තරග සමය ආරම්භ කරමින් කොළඹ තර්ස්ටන් විදුහල සහ ඉසිපතන විදුහල අතර ‘සහෝදරයන්ගේ සංග්‍රාමය’ වාර්ෂික දෙදින ක්‍රිකට් තරගය අද (24) සහ හෙට (25) කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කරන විහස් තෙව්මික තර්ස්ටන් විදුහලට නායකත්වය දෙන අතර සිතුක ගුණවර්ධන ඉසිපතන කණ්ඩායමේ නායකත්වය දරයි.

කණ්ඩායම් දෙක අතර මෙතෙක් පැවැති සහෝදරයන්ගේ සංග්‍රාම තරග 60න් තරග 6ක් ජය ගැනීමට තර්ස්ටන් විදුහල සමත්ව ඇති අතර ඉසිපතන විදුහල තරග 4ක් ජය ගෙන තිබේ.

බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලානය වෙනුවෙන් මේ දෙදින තරගය පැවැත්වෙන්නේ 61 වැනි වරටය.

මෙවර තරග වාරයේ සහභාගි වූ තරග නවයේදී පූර්ණ ජයග්‍රහණ 2ක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ දෙකක් හිමි කර ගැනීමට තර්ස්ටන් පිල සමත්ව තිබේ. තනුජ රාජපක්ෂ ලකුණු 577ක් සහ දිනාල් ඉඳුවර ලකුණු 466ක් රැස් කරමින් පිතිකරුවන් අතර ඉදිරියෙන් පසුවන අතර තනුග පළිහවඩන කඩුලු 50ක් බිඳ දමමින් පන්දු යැවීමේ අංශයේ පෙරමුණ ගෙන සිටී.

බිග් මැච් වසන්තය සහෝදරයන්ගේ සටනෙන් අද ඇරඹේ

ඉසිපතන නායක සිතුක මෙවර තරගවාරයේ කණ්ඩායමේ වැඩිම කඩුලුලාභියා වන අතර රුචිත් රුද්‍රිගු වැඩිම ලකුණුලාභියා ලෙස කණ්ඩායමට එක්ව සිටී.

ඉසිපතන විදුහල මෙවර තරග වාරයේදී තරග 6ක් ක්‍රීඩා කරමින් පූර්ණ ජයග්‍රහණ 3ක් සහ පළමු ඉනිමේ ජයක් හිමි කර ගෙන ඇති අතර ලකුණු 350ක් රැස් කර ඇති රුචිත් රොද්‍රිගු පිතිකරුවන් අතර ඉදිරියෙන් සිටී. තරුෂ්ක අසේල් ලකුණු 250 ආසන්නයේ සිටින අතර, නායක සිතුක ගුණවර්ධන කඩුලු 50ක් බිඳ දමමින් පන්දු යැවීමේ අංශය ශක්තිමත් කරයි.

මේ දෙදින තරගයට සමගාමීව පැවැත්වෙන 17 වැනි විස්සයි20 තරගය ලබන 9 වැනිදා ප්‍රියා පරණවිතාන අභියෝග කුසලානය වෙනුවෙන් තර්ස්ටන් පිටියේදීත් ඩබ්ලිව්.ඒ. ද සිල්වා අභියෝගතා කුසලාන සඳහා වන 44 වැනි එක්දින තරගය ලබන මස 17 වැනිදා පී. සරා ඕවල් පිටියේදීත් පැවැත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment