ඇමරිකානුවන් මිලියන 60කට අධික පිරිසකට බලපෑම් එල්ල කරමින් වසර 32කට පමණ පසුව ඇමරිකා එක්සත් ජනපදයට ඊයේ (06දා) කඩා වැදී ඇති ‘ලෙයාර්’ නමැති දැවැන්ත හිම කුණාටුව ප්‍රාන්ත 30කට බලපෑම් එල්ල කර ඇති අතර එරට ප්‍රාන්ත හතක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
පවතින හදිසි තත්ත්වය හේතුවෙන් එළිමහනට නොයා නිවෙස්වලම රැඳී සිටින ලෙස කාලගුණ විද්‍යාඥයෝ හිම කුණාටුව බලපා ඇති ප්‍රාන්තවල වෙසෙන මිලියන 60කට අධික ජනතාවට දැනුම් දී තිබේ. මේ යටතේ මධ්‍යම ඇමරිකා එක්සත් ජනපදයේ කැන්සාස්, මිසුරි, කෙන්ටකි, වර්ජිනියා, බටහිර වර්ජිනියා, ආකන්සාස් හා නිව් ජර්සි යන ප්‍රාන්තවල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර ඊයේ උදෑසන වන විට දරුණු හිම කුණාටුවක් කඩා වදින බව සැළවීමෙන් පසු ඇමරිකාව පුරා ගුවන් ගමන් 2200ක් පමණ අවලංගු කර ඇති අතර ගුවන් ගමන් 25,000ක් ප්‍රමාද වී තිබේ.
ඇමරිකා එක්සත් ජනපදයට මෙම ශීත ඍතුවේ කඩා වැටී ඇති දරුණු හිම කුණාටුව හේතුවෙන් එරට ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී ඇති අධිකම හිම පතනය මෙන්ම ශිතලම උෂ්ණත්වය වාර්තා වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය විසින් ඊයේ දහවල් වාර්තා කර තබිණි. මෙම දැවැන්ත හිම කුණාටුව ඇමරිකා එක්සත් ජනපදයට කඩා වැදීමට හේතු වී ඇත්තේ ආක්ටික් ධ්‍රැවය වටා පවතින ශීතල වායුන් හා එම ධ්‍රැවයේ විශාල ප්‍රදේශයක් පුරා විසිරී පවතින අඩු පීඩන තත්ත්වය බව ඇමරිකානු කාලගුණ විද්‍යා බලධාරීහු පවසති. ඊයේ දහවල් වන විටද ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත ගණනාවකටම මෙම හිම කුණාටුව හේතුවෙන් හිම වර්ෂාවන්, දැඩි සුළං හා ගිගිරුම් සහිත වැසි ඇති වී තිබෙන බව ඇමරිකානු කාලගුණ විද්‍යා බලධාරීහු පවසති. සමහර ප්‍රාන්තවලට හිම කුණාටුවත් සමගම සුළි කුණාටු ඇති වී තිබෙන බව වාර්තා වේ. හිම කුණාටුවෙන් බලපෑම් එල්ල වී ඇති ප්‍රාන්තවල පාසල් හා කාර්යාල වසා දමා ඇති අතර බොහෝ මාර්ග හිමපතනය හේතුවෙන් අවහිර වී ගොස් තිබේ. මධ්‍යම ඇමරිකානු ප්‍රාන්තවල සිට බ්ලෙයාර් කුණාටුව ඊයේ දහවල් වන විට නැගෙනහිර වෙරළබඩ ගමන් කරමින් තිබු බව වාර්තා වේ. දැවැන්ත හිම කුණාටුව හේතුවෙන් ආකන්සාස් හා ටෙක්සාස් ප්‍රාන්තවල සුළි කුණාටු හටගෙන තිබිණි.