පිටසක්වල යානාවේ ඇත්ත: පෙන්ටගනය සඟවන රහස

3081

ඇමෙරිකානු කොංග්‍රසයේ නියෝජිත ටිම් බර්චෙට් පවසන්නේ පවසන්නේ පෙන්ටගනය පිටසක්වල යානා ගැන තොරතුරු වසන් කරන බවයි. “අපි වසන් කිරීම හෙළිදරව් කරන්නෙමු” යනුවෙන් මේ නීති සම්පාදකයා කොන්ග්‍රස් මණ්ඩලය සාක්ෂි විමසීම අවස්ථාවේ පවසා තිබිණි. එසේම “කුඩා කොළ මිනිසුන් හෝ පියාඹන පීරිසි අපි විභාගයට ගෙන ආවේ නැත… අපි කරුණු වෙත යන්නෙමු”.

අග්ගඤ්ඤ සූත්‍රය ලෝක ප්‍රභවය හා සමාජ ප්‍රභවය පිළිබඳව ඉගැන්වෙන බෞද්ධ ත්‍රිපිටකයට අයත් වැදගත්ම සූත්‍රයකි. උන්වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රය දේශනා කළේ විශ්වය පිළිබඳව ජනතාවට කරුණු කියා දීමට නොව වාසෙට්ඨ හා භාරද්වාජ යන බමුණන් දෙදෙනා අතර පැවති අදහස්වල සාවද්‍ය බව සාක්ෂි සහිතව පෙන්වා දීමටය. බුදුන් වහන්සේ, වාසෙට්ඨ බ්‍රාහ්මණයාණන්හට මෙසේ සඳහන් පවසයි. වාසෙට්ඨයෙනි, දීර්ඝ කාලයක් ගත වෙන විට එනම් එක්තරා කාලයක දී මේ ලෝකය මුළුමනින් ම විනාශ ස්වභාවයට පත්වෙනවා. ඒ ආකාරයට ලෝකය නැසෙන විට ධ්‍යාන වඩන ලද සත්වයෝ පින් රැස් කළ සත්වයෝ “ආභස්සර” නම් බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. එම සත්වයෝ ආභස්සර බ්‍රහ්ම ලෝකයේ උපදින්නේ ධ්‍යාන චිත්ත බලයෙනි. ඒ අය කබලින්කාර ආහාර නම් වූ එනම් සාමාන්‍ය මනුෂ්‍යයන් ගන්නා වූ ආහාර ගන්නේ නැහැ. ප්‍රීතියම ආහාර කොට ගන්නවා. ඒ අයගේ ම ශරීරයෙන් හටගත් ප්‍රභාස්වර බවෙන් ආලෝකයෙන් ඔවුන් බබලනවා. අහසින් ගමන් කරන අතර, සිත් කළු වස්ත්‍රාභරණ ආදිය හැඳ පැළැඳ සිටිනවා. එහි මේ ආකාරයට ධ්‍යාන චිත්ත බලයෙන් උපන් සත්වයෝ බොහෝ කාලයක් වාසය කරනවා. වාසෙට්ඨයෙනි, දීර්ඝ කාලයක් ගතවීමෙන් අනතුරුව මේ ලෝකය නැවත හට ගැනීමේ කාලය ආරම්භ වෙනවා. ඒ ලෝකය හටගන්නා කාලයෙහි සත්වයෝ “ආභස්සර” නම් වූ බ්‍රහ්ම ලෝකයෙන් චුතව එනම් ඒ බ්‍රහ්ම ලෝකයෙන් ඉවත්ව මේ මිනිස් ලෝකයට පැමිණෙනවා. එම සත්වයෝ මේ “මිනිස් ලෝකය” ට පැමිණ උපදින්නේත් ධ්‍යාන සිත් ඇතිව, ප්‍රීතියම ආහාර කොටගෙන ජීවත්වෙනවා. බ්‍රහ්ම ලෝකයේ දී ලෙසම සිය සිරුර බැබලීමට පටන් ගන්නවා. අහසින් ගමන් කරනවා. සිත්කළු වස්ත්‍රාභරණ පැළඳ සිටින අතර මේ මිනිස් ලෝකයේ මේ අය බොහෝ කාලයක් ජීවත්වෙනවා” යනුවෙන් සඳහන් කරති. මේ කතාව දිගට ඇදී යයි. නමුත් අද අපි අග්ගඤ්ඤ සූත්‍රයේ උපුටා ගැනීමක් දක්වන්නේ ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයට එරට ගුවන් හමුදාවේ හිටපු බුද්ධි අංශ නිලධාරියෙකු පිටසක්වල ක්‍රියාකාරකම් ගැන ලබා දුන් සාක්ෂියක් ගැන ලොවම උන්නදුවෙන් කතාකරන නිසාය.

පසුගිය බදාදා දිනයේ හිටපු ගුවන් හමුදා හමුදා බුද්ධි නිලධාරි ඩේවිඩ් ගෘෂ්, ඇමෙරිකානු කොංග්‍රසයේ අධීක්ෂණ අනුකමිටුවකට සාක්ෂි දෙමින් පැවසුවේ පිටසක්වල යානා නොහොත් පියාඹන පීරිසි ගැන අන්තර්ජාලයේ කියවා ඇති සියලුම කථා සත්‍ය බවයි. කඩා වැටුණු පිටසක්වල යානාවලින් ඇමෙරිකානු රජය විසින් සුන්බුන් එකතු කර තිබේ. එය ඇත්තකි. පෙන්ටගනයේ කණ්ඩායම් කඩා වැටුණු පිටසක්වල යානාවල තිබුණු මනුෂ්‍ය නොවන සිරුරු වලින් ජීව විද්‍යාත්මක අවශේෂ එකතු කර ඇති බවත් ඔහු සාක්ෂි දෙමින් රැස්ව සිටි නීති සම්පාදකයින්ට පැවසීය. තමා රහස් හෙළි කරන්නෙකු ලෙස සලකන ඩේවිඩ් ගෘෂ් කියා සිටින්නේ තමන් දුසිම් ගණනක් පුද්ගලයන් සමඟ සම්මුඛ සාකච්ඡා කර ඇති බවත්, ඔවුන්ගෙන් කිහිප දෙනකු පිටසක්වල යානා හේතුවෙන් තුවාල ලබා ඇති බවත්ය. ඇමෙරිකානු ආරක්ෂක මෙහෙයුම්වලදී පිටසක්වල යානා හඳුන්වන්නේ UFO වශයෙන් නොව UAP (Unidentified aerial phenomena) එනම් හඳුනා නොගත් ගුවන් සංසිද්ධි ලෙස බවත්ය. බිඳ වැටුණු යානා කොටස් එකතු කිරීම සහ අධ්‍යයනය කිරීම සඳහා පෙන්ටගනය දශක ගණනාවක් තිස්සේ වැඩ කරමින් සිටින බව හිටපු ගුවන් හමුදා හමුදා බුද්ධි නිලධාරියා කියා සිටියේය. මෙය සැබවින්ම අසාමාන්‍ය ප්‍රකාශයකි. එහෙත් මේ සාක්ෂි කිසිවක් ඔහු දැක නැති අතර “වැඩසටහන පිළිබඳ සෘජු දැනුමක් ඇති

පුද්ගලයන්ගෙන්” ඉගෙන ගත් බව හෙළිකර සිටියේය. මේ අවස්ථාවේ තම හෙළිකිරීම්වලට අදාළව කිසිම සේයාරුවක් හෝ වෙනත් සාක්ෂියක් ගෙනවිත් තිබුණේ නැත. රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන නීති සම්පාදකයකු වන රෙප් එරික් බර්ලිසන්, ඩේවිඩ් ගෘෂ්ගෙන් විමසා සිටියේ ඔබ ඇත්තටම පිටසක්වල ජීවියකුගේ සිරුරක් දැක තිබේද යනුවෙනි. පිටසක්වල සිරුරක් තමන් දැක නැති බව හිටපු බුද්ධි නිලධාරියා පිළිතුරු දී තිබිණි.

2021දී සිදු කරනු ලැබූ මත විමසුමකින් පෙන්නුම් කළේ ඇමරිකානුවන්ගෙන් සියයට 40 කට වැඩි පිරිසක් පිටසක්වල යානා ඇති බව විශ්වාස කරන බවයි. පිටසක්වල ජීවීන්ට පෘථිවියට පැමිණීමට නොහැකි බව වඩාත් ගතානුගතික විද්‍යාඥයෙකුට පවා දැඩි ලෙස තර්ක කළ නොහැක. පෙන්ටගනයේ ප්‍රකාශිකා සු ගෆ් ප්‍රකාශ කරන්නේ හිටපු ගුවන් හමුදා බුද්ධි නිලධාරියා සිදු කළ ප්‍රකාශ ඇමෙරිකානු ආරක්ෂක අංශ විසින් ප්‍රතික්ෂේප කරන බවයි. පිටසක්වල යානා ගැන තොරතුරු සැපයීමේ ප්‍රතිඵලයක් ලෙස කිසියම් පුද්ගලයෙකුට හානියක් හෝ මරණයක් සිදුවී ඇති බවට පෙන්ටගනයට කිසිදු තොරතුරක් නොමැති බවත් පිටසක්වල ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම හෝ ප්‍රතිලෝම ඉංජිනේරුකරණය සම්බන්ධව කිසියම් වැඩසටහනක් අතීතයේ පැවති හෝ දැනට පවතින බවට ප්‍රකාශයන් සනාථ කිරීමට කිසිදු තොරතුරක් පෙන්ටගනය සතුව නැති බවත් මේ ප්‍රකාශිකාව සඳහන් කර තිබිණි. ඇය කියන්නේ මේ හෙළිදරව්ව කටුක හා ඉතා අවාසනාවන්ත බවයි.

ඉකුත් බදාදා පැවති සාක්ෂි විභාගයේදී විශ්‍රාමික ඇමෙරිකානු නාවික හමුදා නියමු ඩේවිඩ් ෆ්‍රේවර් 2004 පැසිෆික් සාගරයේ පුහුණු අභ්‍යාසයක් අතරතුර රේඩාර් පාලකයන් විසින් හඳුනා නොගත් වස්තුවක් හඳුනා ගත් ආකාරය විස්තර කළේය. “මෙම වස්තූන් සති දෙකකට වැඩි කාලයක් අඩි 80,000 උසක සිට අඩි 20,000 දක්වා වේගයෙන් බැස පැය ගණනක් සිට ආපසු කෙළින්ම ඉහළට යන බව නිරීක්ෂණය කළ බව පාලකයා අපට කිව්වා. සාගර පෘෂ්ඨයට ආසන්නව කුඩා සුදු පැහැති “ටික් ටැක්” හැඩැති වස්තුවක් විනාඩියකටත් අඩු කාලයකදී සැතපුම් 60කට වඩා වැඩි දුරක් ගමන් කර “පිං පොං බෝලයක්” මෙන් අක්‍රමවත් ලෙස චලනය වී ඇති බවත් ඔහු සඳහන් කර තිබිණි. මෙය නාවික ගුවන් නියමුවන්ට අමුතු පියාසර වස්තුවක් හමු වූ එකම අවස්ථාව නොවේ – 2015 දී, එක්සත් ජනපද නාවික හමුදා ප්‍රහාරක ජෙට් යානා ඔවුන්ගේ ඉදිරි දෙස බලන අධෝරක්ත කැමරාවලට හඳුනා නොගත් වස්තුවක් නිරීක්ෂණය විය.

ඇමෙරිකානු කොංග්‍රසයේ නියෝජිත ටිම් බර්චෙට් පවසන්නේ පවසන්නේ පෙන්ටගනය පිටසක්වල යානා ගැන තොරතුරු වසන් කරන බවයි. “අපි වසන් කිරීම හෙළිදරව් කරන්නෙමු” යනුවෙන් මේ නීති සම්පාදකයා කොන්ග්‍රස් මණ්ඩලය සාක්ෂි විමසීම අවස්ථාවේ පවසා තිබිණි. එසේම “කුඩා කොළ මිනිසුන් හෝ පියාඹන පීරිසි අපි විභාගයට ගෙන ආවේ නැත… අපි කරුණු වෙත යන්නෙමු”. ඉකුත් බදාදා දිනයේ පැය දෙකක කාලය තුළ, සාක්ෂිකරුවන් තිදෙනෙක් පිටසක්වල යානා හා එහි සැඟවුණු තොරතුරු ගැන කොන්ග්‍රසය ඉදිරියේ කරුණු පැහැදිලි කර තිබිණි. බීබීසී ලෝක සේවය මෙම පුවත වාර්තා කර තිබුණේ පිටසක්වල යානා සහ පිටසක්වල ජීවීන් බෙදුණු එක්සත් ජනපද කොන්ග්‍රසය එක් කළ බවයි. 2017 දී, නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත නාඳුනන ගුවන් සංසිද්ධිය විමර්ශනය කිරීම සඳහා පෙන්ටගනයේ රහස් වැඩසටහනක් පවතින බව වාර්තා කිරීමත් සමඟ මේ ගැන වැඩියෙන් කතාබහට ලක්විය. එසේම පිටසක්වල ජීවීන් බොරුවක් නොවන බවට ඇමෙරිකා හිටපු ජනාධිපති බැරක් ඔබාමා විසින් පවසා තිබුණේ කලකට පෙරය. පිටසක්වල ජීවීන් ඇමෙරිකාවට මෙන්ම මුළු ලෝකයේම ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් වහාම මේ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඇමෙරිකාවේ හිටපු ආරක්ෂක බලධාරීන් එරට රජයෙන් ඉල්ලා තිබිණි. ඊට ප්‍රතිචාර දක්වමින් වත්මන් ජනාධිපති ජෝ බයිඩන් විසින් තමන් ඒ පිළිබදව සොයා බලමින් සිටින බව දැනුම් දී සිටියේය. කෙසේ නමුත් ජෝ බයිඩන්ගෙන් ඇමෙරිකා මාධ්‍ය මේ පිළිබඳව විමසද්දී ඔහු මාධ්‍ය හමුව අවසන් කර පිටව ගියේය. හිටපු ජනපති ට්‍රම්ප් තම ජාතික බුද්ධි අධ්‍යක්ෂවරයාට නියෝග කර සිටියේ දින 180 ක් ඇතුළත “හඳුනා නොගත් ගුවන් සංසිද්ධීන්” පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසය. එහෙත් එම වාර්තාව ඉදිරිපත් වූයේ නම් නැත. පෙන්ටගනය සඟවන රහස් ඇති බව නම් පැහැදිලි ඇත්තකි. එය ජනපතිට පවා හෙළිකළ නොහැකිය.

කවරක් නමුත් බුදු සමයෙහි අරමුණ වන්නේ විශ්වය පිළිබඳ දැනුම විවරණය කිරීම නොව විමුක්ති මාර්ගය පහදා දීමය. එබැවින් විශ්වයේ අග මුල, දිග පළල සොයා වෙහෙසවීම ඊතලයකින් විදිනු ලැබූ පුද්ගලයා එයට පිළියම් නොකොට ඊතලයේ ස්වරූපය හා විදිනු ලැබූ පුද්ගලයා පිළිබඳ තොරතුරු සොයමින් කාලය ගත කරනවා වැනි නිශ්ඵල දෙයකැයි චුල්ල මාලුංක්‍යපුත්ත සූත්‍රයේදී බුදුන් වහන්සේ දේශනා කළහ. බුදුන් වහන්සේ ලෝකය දෙආකාරයකින් පෙන්වා දෙති. “මහණෙනි, මේ ලෝකයේ ආරම්භය අවිනිශ්චිතය. අවිද්‍යාවෙන් හා තෘෂ්ණාවෙන් මෙහෙයවනු ලැබ ජාතියෙන් ජාතිය සැරිසරන සත්ත්වයන්ගේ ආරම්භය ද පෙන්විය නොහැකිය.”

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment