වහන්න ගිය BCC දැන් ලාභ ලබනවා: ඉදිරියේ දී යුරෝපා වෙළෙඳපොළටත් යනවා – සභාපති ප්‍රසංග ඉන්ද්‍රජිත් පෙරේරා

40

පසුගිය කාලයේ වසා දැමීමට නියමිතව තිබූ BCC ලංකා ලිමිටඩ් ආයතනය වර්තමානය වනවිට ලාභ ලබන ආයතනයක් බවට පත්කර ඇතැයි එම ආයතනයේ වර්තමාන සභාපති ප්‍රසංග ඉන්ද්‍රජිත් පෙරේරා මහතා පැවසීය.

එම ආයතනයේ (23 දා ) මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් කතා කළ සභාපතිවරයා මෙසේද කීය.

BCC ලංකා ලිමිටඩ් ආයතනය 2006 වසරේ දී පාඩු ලබන ආයතනයක් ලෙස හඳුනාගෙන සම්පූර්ණයෙන් වසා දැමූ අතර ඉන්පසුව නැවතත් ඉතා සුළු සේවක ප්‍රමාණයක් යොදා ගනිමින් නිෂ්පාදන කටයුතු සිදුකර තිබුණා. නමුත් පසුගිය කාලයේදී නැවතත් පාඩු ලබන ආයතනයක් ලෙස හඳුනාගත් BCC ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් කර තිබුණත් නව රජය යටතේ ඉතා කෙටි කාලයකින් මෙම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කර ගැනීමට අවස්ථාව ලැබුණා. BCC ඉතිහාසයේ ලැබූ ඉහළම විකුණුම් ආදායම ලෙස රුපියල් මිලියන 124ක් පසුගිය මාර්තු මාසයේ දී ලබාගත්තා. එසේම ජනවාරි මාසයේ දී රුපියල් මිලියන 95ක් ද පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 121ක් ද ලෙස විකුණුම් ආදායම් ලබාගැනීමට හැකි වුණා.

පූර්ණ රාජ්‍ය සමාගමක් ලෙස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන BCC ලංකා ලිමිටඩ් ආයතනය පොල්තෙල් වර්ග 2ක්, සබන් වර්ග 5ක්, විෂබීජ නාශක හා පිරිසිදු කාරක වර්ග ඇතුළත් ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන පෙළක් වෙළෙඳපළට ඉදිරිපත් කර තිබෙනවා. ආසියාවේ තියෙන විශාලතම පොල්තෙල් නිෂ්පාදන කටයුතු සහ පිරිපහදු කරන ආයතනය වන මෙම ආයතනය පොල් තෙල් ටොන් 10,000ක් ගබඩා කළ හැකි තෙල් ගබඩා ටැංකිවලින් සමන්විතයි.

මේ වනවිට පවතින තත්ත්වය යටතේ ආයතනය සතු කර්මාන්තශාලා දෙකෙහිම නිෂ්පාදන කටයුතු උපරිම කාර්යක්ෂමතාවයකින් සිදු කෙරෙමින් පවතිනවා. සුපිරි වෙළෙඳසැල් ඇතුළුව දිවයින පුරා බෙදා හැරීම් ජාලය ශක්තිමත් කිරීමට කටයුතු කර තිබෙනවා. රටේ පොල් තෙල් අවශ්‍යතාවයෙන් අවමය 50%ක් වත් BCC ලාංඡනය යටතේ වෙළෙඳපොළට නිකුත් කිරීම ආයතනයේ පරමාර්ථයි.

එසේම BCC ආයතනය නවතම නිෂ්පාදන පෙළක් වෙළෙඳපළට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ආයතනයේ නිෂ්පාදන කටයුතු තවදුරටත් ඉහළ දැමීමේ අරමුණින් වතුපිටිවල පිහිටි කර්මාන්ත ශාලා පරිශ්‍රය සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු පැවසීය. ඉදිරියේදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහත්වරුන්ගේ මඟපෙන්වීම යටතේ දේශීය වෙළෙඳපොළෙන් ඔබ්බට ගොස් යුරෝපා වෙළෙඳපොළ වෙත BCC නිෂ්පාදන ඉදිරිපත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස්කරමින් පවතින බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත


advertistmentadvertistment