වාසනාව අවාසනාව ගැන කේන්ද්‍රයේ ලියැවී තිබේ

115

පෙර ආත්මවල කළ දේවල් මේ ආත්මයේ දෛවය වෙයි. මේ ආත්මයේ පිනට වඩා පව් පැත්ත වර්ධනය ගතහොත් මේ මිනිස් ආත්මයද අහිමි වී බරපතළ දුක් විඳීමට සතර අපාවල උපදී. මිනිස් ආත්මය යනු සුගති ආත්මයකි. මේ ආකාරයට බුදු දහමක් ලැබෙන්නේත් ජ්‍යොතිෂ්‍ය සෘෂිවරු බිහිවන්නේත් ගැඹුරු හේතුඵල ධර්ම කේන්ද්‍රයක් තුළින් දක්වන්නේත් ඒ “ සුගති ” තත්ත්වය නිසායි.

මේ වාසනා අවාසනා දෙකට අපි දෛවය කියා කියන්නේමු. අපේ ජිවිත පවතින්නේ මේ දෙක මතය. මේ දෛවය හෙවත් වාසනා අවාසනා දෙක උපදවා ගන්නේද අපිමය. මේ ආත්මයට අපි දෛවය ලෙස මේ දෙක උපදවා ගත්තේ පෙර ආත්මයේය. එනම් අපි කරගත් යහපත් හා අයහපත් ක්‍රියාවලිනි. මෙය මේ ආත්මයේ කරන විට මේ ආත්මයට ඒ දෙකෙන්ම හයෙන් එකක ප්‍රතිඵල ලැබෙන අතර ඉතිරි ප්‍රතිඵල ලබන ආත්මයේ වාසනා – අවාසනා දෙක ලෙස දෛවය තනාදෙයි. පෙර ආත්මෙත් මේ හයෙන් එකක ප්‍රතිඵල භූක්ති විඳ ඇත එය “දිට්ඨ ධම්ම වේදනීය කර්මය” බව අභිදහමේ පෙන්වයි.

මේ වාසනා අවාසනා දෙක පින සහ පව ලෙස ධර්මයේ සඳහන් වෙයි. මේ දෙක අපි දෛවය කියා හැඳින්වුවත් ධර්මයේ සඳහන් වන්නේ “හේතුඵල ධර්මය” ලෙසය. මිනිසා කොපමණ බලාපොරොත්තු තැබුවත් වෙහෙසුනත් ඒවා සඵල වීම හෝ නොවීම සිදුවන්නේ ඒ හේතුඵල දහම නම් වූ දෛවය වාසනා අවාසනා දෙකට අනුවමය.

බුදු දහම හෙළි කරන මේ නොපෙනෙන විශ්ව සත්‍යතාවය දැකගත හැක්කේ ජ්‍යොතිෂයෙනි. ධර්මය ධ්‍යානධාරි පිංවත් අය ධර්මය තුළින් එය මනාව දකී. අප වැනි පෘතග්ජන අයට ඒ සම්බන්ධව ජ්‍යොතිෂය කරුණු පෙන්වයි.

මිනිස් ලොව ඉපදුන අපගේ පිං – පව් හෙවත් වාසනා අවාසනා දෙක හඳුනාගන්න කේන්ද්‍රය මුල්වේ. යමෙකුගේ කේන්ද්‍රයේ ලග්නාධිපති කේන්ද්‍රයේ 9 වැන්න – 10 වැන්න – 11 වැන්න යන තැනක ඇත්නම් ඔහුට වාසනා ගුණය පවතී. එම ලග්නාධිපති ඒ තැනක උච්චවීම හෝ පරිවර්තන යෝගයක සිටීම ඇත්නම් ඒ පුද්ගලයා මහත් වාසනාවන්තය. රැකී රක්ෂා ධන සම්පත් ආදියෙන් ආඩ්‍ය වෙයි.

ඒ තැනක ලග්නාධිපති නීචවීම හෝ පාපී ග්‍රහයින්ගේ සතුරු දෘෂ්ඨි වලට ලක්වී හෝ කේන්ද්‍රයේ 06 වැනි 08 වැනි 12 වැනි කොටුවලින් එකක සිටී නම් ඔහු අවාසනාවන්තය. ඉගෙනීමට – රැකී රක්ෂා වලට – ආර්ථීක තත්වයට – වැදගත් අයගේ පිළිගැනීම නැතිවී ඉතාම ප්‍රශ්න – කරදර අවුල් වියවුල් – කැමති දේ නොලැබෙන අතිශය දුක්වලට මුහුණ දෙමින් ජීවත් වීම පිණිස කටයුතු කරගැනීමට සිදුවේ.

ලග්නාධිපති එලෙස බලවත් වීම සේම ඇතැම් සුබ ග්‍රහයින් වු ගුරු – බුධ – සිකුරු – සඳු ආදි ග්‍රහයින් ද, පාප සතුරු ග්‍රහ දෘෂ්ඨී වලට ලක්නොවී කේන්ද්‍රස්ථාන ත්‍රිකෝණස්ථාන ආදී තැන්වල සිටී නම් එයද වාසනාව පෙන්වන පිහිටීමකි. එය නමුත් ඔවුන් පාප ග්‍රහ දෘෂ්ඨි ආදියෙන් පීඩාවී නම් එය තම වාසනා බලයට තමාම උපදවා ගත් අවාසනාවන්තකම් මිශ්‍රවීමයි. එම වාසනා ගුණයට බාධා ඇති කිරීමයි. දැඩි දුක් විඳ අඩක් සපල කරගනී. ධර්මය පවසන පරිදි වැඩිම මිනිස් පිරිසක් උපදවා ගන්නේ අඩුම වාසනා ගුණයකි. සිල්පද කඩාගෙන සමාජය තුළ අයහපත් කටයුතු කරන්නේ අවාසනාව උපදින පරිදිය. කේන්ද්‍රය තුළ ඒ නිසි ස්ථානවල සිටින ග්‍රහයින් පාප ග්‍රහදෘෂ්ඨි වලින් අවුල් වන්නේ පෙර ආත්මයේ දී ඒ විදියට අවාසනාව ඉස්මතු කර ගත හැකි බැවිනි. කර්ම රෝග ඇති වන්නේද ඒ උපදවාගත් අවාසනාව අනුවය. බරපතළ සෙම් රෝග ඇති වන්නේ පෙර ආත්මේ වචන වලින් උපදවා ගත් පව් හෙවත් අවාසනාව අනුව බව අභිධර්මය ඇසුරින් පෙන්වා තිබේ.

එලෙස මේ ආත්මයේ උපදවා ගන්නා වාසනා අවාසනා දෙක ඊළඟ ආත්මයේ දෛවය තනයි.

ලෙඩ දුක් පිළිබඳවත් කේන්ද්‍රයෙන් පෙන්වයි. කේන්ද්‍රය තුළ ග්‍රහයින්ගේ පිහිටීම අනුව ශරීරයේ විවිධ තැන්හි රෝග ඇතිවන ස්වභාවය කේන්ද්‍රයෙන් පෙන්වයි. ඒ අනුව රවි ග්‍රහයාට අයිති ශරීරාංග හෘදය වස්තුව – කොඳු ඇට පෙළ – සම – උදරය – අස්ථි – හිස – දකුණු ඇස යන ශරීර ස්ථාන වේ.

නමුත් රවි මේෂ රාශියේ සිටින විට කලවාවල රෝග සාදයි. ඉදිමීම් – වේදනා – කැක්කුම් ආදියයි. කලවා අයිති ග්‍රහයා ගුරුය. කලවා පෙන්වන්නේ කේන්ද්‍රයේ 09 වන කොටුවෙනි. එනිසා කලවා අයිති ග්‍රහයා වූ ගුරුත් කේන්ද්‍රය නවවැන්න අධිපතියාත් පාපී ග්‍රහ පීඩාවන්ටත් හසුව ඇත්නම් එම පාපී ග්‍රහයින්ගේ මහ දශා අන්තර් දශා විදසා ගෙවන කාලයේදී ජන්මයාට කලවා ආශ්‍රිත රෝග පීඩා අනිවාර්යෙන්ම ඉස්මතුවේ. අනෙක් ග්‍රහයින්ගෙන්ද එසේමය. ඒ ඒ ග්‍රහයින්ට අයිති ශරීර අංගවල රෝග පීඩා සාදයි. තුලාවේ ශනි සිටින විට දණහිස් වලට බලපායි. කේන්ද්‍රයෙන් දණහිස් පෙන්වන්නේ 10 වෙනි කොටුවෙනි. එවිට ඒ ස්ථානයට අයිති ග්‍රහයා පාපී ග්‍රහයෙකුගෙන් පීඩා වී සිටියේ නම් ඒ පාපී ග්‍රහයාගේ මහ දශාව – අතුරු දශාව විදසවා පවතින කාලවල ස්ථීරවම දණහිස් ආබාධ ඇති කරයි. මහ දශාවේ නම් ජීවිතය පුරා දිගු කාලයක් ඒ රෝගය ඇති විය හැක.

මේ සියල්ල ග්‍රහ පරමාණුක කිරණ වලින් සක්‍රීය වේ. අතුරු දශාවේ නම් වසර දෙක තුනකින් සුවකර ගත හැක. විදසාවක දී නම් මාස දෙක තුනකින් සුවකර ගත හැකි මේ පාප ග්‍රහ පීඩා යනු තමන් පෙර කළා වූ අයහපත් ක්‍රියාවන්ගෙන් ඉපදෙන අවාසනාවන්ය. ඒවා විපාක සැලසෙන්නේත් ඒ පව නිවේදනය කළ ග්‍රහයින්ගේ දශා කාල වලය. මේ දේවල් ඉක්මනින් සුවකර ගන්නට බෝධි පූජා මෙන්ම අනිවාර්යයෙන් අනිත්‍ය භාවනාව නිතර වඩමින් ඒ පවු දුරු කිරීම කළ යුතුය. නැති නම් බෙහෙත් කොපමන කළත් සුව නොවී පවතී.

දැන් බොහෝ ධන යෝග කේන්ද්‍රවල සටහන්ව තිබේ. කේන්ද්‍රයේ ධනස්ථාන අධිපතියා 11 වැන්නේ සුබව සිටී නම් ධනස්ථාන අධිපති කේන්ද්‍රයේ 5 වැන්නේ නම් එයද ලොතරැයි වැනි මහා ධන ලාභ ගෙන එන පිහිටීමකි. නමුත් එම ධනස්ථාන අධිපතිත් පාප ග්‍රහ පීඩාවක සිටී නම් ඒ ධන යෝග අක්‍රීය වේ. මේ පාපී ග්‍රහ පීඩා යනු තමන් පෙර කරගත් තමන්ගේ පෙර ලැබීම් නැති කර ගැනීමකි. නැති නම් කෝටි ගණනක දිනුම් තිබිද්දී තමන්ට රු. 100 ක 50 ක සු`එ දිනුමක් බවට ඒ වාසනාව හීන වී යයි. මෙසේ සිදු වන්නේ ඒ ධන යෝග බිහි වී ඇත්තේ තමා කර ගන්නා වූ යහපත් හෙවත් පිංවලිනි. පවු කිරීමෙන් ඒ වාසනාව නම් කිරි බඳුනට ගොම දිය කර ගැනීමය.

එසේ පෙර ආත්මවල කළ දේවල් මේ ආත්මයේ දෛවය වෙයි. මේ ආත්මයේ පිනට වඩා පව් පැත්ත උස්සා ගතහොත් මේ මිනිස් ආත්මයද අහිමි වී බරපතළ දුක් විඳීමට සතර අපාවල උපදී. මිනිස් ආත්මය යනු සුගති ආත්මයකි. මේ ආකාරයට බුදු දහමක් ලැබෙන්නේත් ජ්‍යොතිෂ්‍ය සෘෂිවරු බිහිවන්නේත් ගැඹුරු හේතුඵල ධර්ම කේන්ද්‍රයක් තුළින් දක්වන්නේත් ඒ “ සුගති ” තත්ත්වය නිසායි.

බුදුවරයෙක් ලොව පහළ වී දේශනා කරන්නේ මෙන්න මේ පින හෙවත් වාසනාවත් පව හෙවත් අවාසනාවත් මේ ආත්මයට දෛවය හෙවත් හේතුඵල දහම වන අන්දමයි. එය තම වාසනා අවාසනා දෙක වී ජීවිතයට ප්‍රශ්න – කරදර – බාධක දුරු වී ආස්වාදජනක වීමත් ඇති කරයි. මෙය විවාහයකට දෙදෙනෙක් ගැලපීමේ සිට සාර්ථක විවාහ දිවියක් ගත කිරීමටත් ඒරාෂ්ඨක අපල වශයෙන් ජීවිතයට දුක් කරදර ලෙඩ දුක් අනතුරු ඇති වීමත් සිදු වේ. ඒ ගැන වෙනම ලිපියක් පසුව ගෙන එමි.

ඒ නිසා ඔබෙත් මගෙත් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගෙත් ජීවිත වලට හේතුඵල දහම හෙවත් පින – පව බලපායි. එය අපේ කේන්ද්‍රය තුළින් දැකිය හැකිය. ජෝතිෂ්‍ය පිදුරුතලාගල කන්දය බුදු දහම මහාමේරු කන්ද බව අමතක නොකරන්න.

වාසනාව අවාසනාව ගැන කේන්ද්‍රයේ ලියැවී තිබේ

ජ්‍යොතිෂවේදී
අගලවත්තේ බී. හේරත්
මහජන ක්‍රීඩාංගණය අසල, අගලවත්ත.
දු.ක.-071-2154253

advertistmentadvertistment
advertistmentadvertistment