වැස්සෙන් විපතට පත්වූවන්ට කඩිනම් සහන දෙන්න දිසා ලේකම්වරුන්ට මුදල්

33

ජනපතිගෙන් මුදල් ලේකම්ට උපදෙස්

මේ වසරේ නිරිතදිග මෝසම් තත්ත්වය ආරම්භ වීමෙන් පසු මේ වන විට රටේ උද්ගත වී ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූවන්ට කඩිනම් සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත වහාම නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.

එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානියට පත් සියලු නිවාස රජයේ මුදලින් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ දායකත්වයෙන් ඉදිරි මාස 02 තුළ ඉදි කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා අදාළ පාර්ශ්වයන් වෙත උපදෙස් දුන්නේය. මේ සම්බන්ධ පූර්ණ සැලැස්මක් අද (4දා) ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ වන විට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, බලපෑමට ලක්ව ඇති සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අත්‍යවශ්‍ය නිලධාරීන් සහ ග්‍රාමසේවා නිලධාරීන් ප්‍රමුඛ ප්‍රාදේශීය ආපදා කළමනාකරණ නිලධාරීන් විපතට පත්වූවන්ට සියලු සහන සැලසීම සඳහා කටයුතු කරමින් සිටිති.

එම සියලු නිලධාරීන්ගේ කැපවීම අගය කළ ජනාධිපතිවරයා එම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහාත් වහාම ආපදා තත්ත්වයන්ගෙන් මහජනතාව මුදාගෙන සාමාන්‍ය ජීවන තත්ත්වයක් පවත්වාගෙන යෑම සඳහාත් රජයෙන් ලබාදිය හැකි සියලු සහාය නොපමාව ලබා දෙන බව සඳහන් කළේය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් අදීප තිලකරත්න මහතා පවසන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ට අනුබද්ධිතව පිහිටා ඇති දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පූර්ණ වශයෙන් බලාත්මකව ක්‍රියාත්මක කිරීම සඳහා 02දා දහවල් පැවති සාකච්ඡාවකදී තමන් වෙත උපදෙස් ලැබුණු බවයි.

එහිදී ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය උපකරණ සහ ගංවතුර තත්ත්වයන් සඳහා භාවිත කළ හැකි ඕනෑම වර්ගයේ ක්‍රියාන්විත රථයක, බෝට්ටුවක හෝ හෙලිකොප්ටර්වල දායකත්වය ලබා දීමට එකඟත්වය පළ කළ බවද ඒ මහතා සඳහන් කළේය. ඒ අනුව මේ වන විට නාවික හමුදාව, ගුවන් හමුදාව සහ යුද හමුදාව එම කටයුතු වෙනුවෙන් පූර්ණ වශයෙන් කැපවී සිටින බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම රැස්වීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු සහභාගී වූහ. අධි බලපෑම් සහිත දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරු විද්‍යුත් තාක්ෂණය ඔස්සේ ඊට සම්බන්ධ වූහ.

අනවශ්‍ය ආකාරයෙන් මාර්ගයට පැමිණීමෙන් වැළකී සිටින ලෙසත්, ගංවතුර හෝ ආපදා තත්ත්වය හේතුවෙන් විනාශයට පත්වී ඇති ස්ථාන නැරඹීමෙන් වැළකී සිටීමට සහ ගංවතුර හෝ මාර්ගවල වතුර පිරී ඇති ස්ථානවල ජල ක්‍රීඩාවල නොයෙදෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

හදිසි ආපදා තත්ත්වයන් දැනුම් දීමට සහ විපතට පත් පුද්ගලයන් වෙත තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි දුරකථන ඇමතුම් අංකය 24 පැය පුරා ක්‍රියාත්මකය.

advertistmentadvertistment
advertistmentadvertistment