මෙවර පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතර බලය ලැබී ඇති ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සමග එක්සත් ජාතික පක්ෂය ඊයේ (19දා) කොන්දේසි විරහිත විශේෂ එකඟතාවකට පැමිණ තිබේ. සමගි ජනබලවේගය නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති එම සාකච්ඡාවේදී පක්ෂ දෙකේ මහලේකම්වරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර සහ තලතා අතුකෝරාල යන මහත්ම මහත්මීන් විපක්ෂ නායකවරයා ඉදිරියේ ඒ සඳහා එකඟතා ලියවිල්ලකට ද අත්සන් තබා ඇත.
විපක්ෂයේ අනෙකුත් පක්ෂ ද එක් කරගනිමින් බලය පිහිටුවිය හැකි ආයතනවල බලය පිහිටුවා සහයෝගයෙන් ක්‍රියා කිරීමට මෙහිදී පක්ෂ දෙකම ඒකමතිකව එකඟත්වය පළ කර තිබේ.
මෙම සාකච්ඡා සඳහා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තලතා අතුකෝරල, වජිර අබේවර්ධන, සාගල රත්නායක, රුවන් විජයවර්ධන යන මහත්වරුන් ද සමගි ජන බලවේය වෙනුවෙන් රංජිත් මද්දුම බණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල, මුජුබර් රහුමාන් යන මහත්ම මහත්මීන් ද සහභාගී වී ඇත.
මේ අතර පළාත් පාලන මැතිවරණයේදී මන්ත්‍රී ධුර හිමිකර ගත් විපක්ෂයේ සෙසු පක්ෂ සමග සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා එම පක්ෂ සමග පැවැත්වූ සාකච්ඡා ඉතා සාර්ථක බවත් විපක්ෂයට බලය පිහිටුවිය හැකි කොළඹ මහ නගර සභාව ඇතුළු අනෙක් පළාත් ආයතනවල බලය පිහිටුවීමට කටයුතු කරන බවත් සජබ ජ්‍යෙෂ්ඨයකු වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින’ට පැවසීය. ඒ සම්බන්ධයෙන් වන කරුණු දිනපතා සාකච්ඡාවට ලක් කරන බවද හෙතෙම කීය.
අකිත පෙරේරා