වියට්නාම ජනාධිපතිවරයාගේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 04 සිට 06 වැනි දින සිදුකරන වියට්නාමයේ නිල සංචාරයේ දී දෙරට අතර ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිතය.
එසේම ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතුළු නියෝජිත පිරිස එරට ව්‍යාපාරික ප්‍රජාව සමග සම්බන්ධ වීමට නියමිතව ඇත.
ජනාධිපතිවරයා එරටට යන්නේ හෝ චි මිං නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට වන අතර එහිදී ඔහු ප්‍රධාන දේශනය පවත්වනු ඇත.
මෙම වියට්නාම නිල සංචාරය අතරතුරදී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග නිල සාකච්ඡා පවත්වනු ඇත. කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ සම්භාවනීය නිලධාරීන් ද ඊට සහභාගි වීමට නියමිතය.
දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට මෙම වසරේදී 55 වසරක් සපිරෙන බැවින්, වියට්නාම සමාජවාදී ජනරජය වෙත කෙරෙන මෙම සංචාරය තුළින් දෙරට අතර ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු වනු ඇතැයි අපේක්ෂා කරන බව රජය කියයි.
ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වෙති.
ශ්‍යාම් නුවන් ගනේවත්ත