විශ්වාසය රකිනවා අපරාධකරුවන්ට දඬුවම් දෙනවා- පාකිස්තාන අගමැති ශ‍්‍රී ලංකා ජනපතිට සහතික වෙයි

138

පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ‍්‍රී ලාංකික වෘත්තිකයකු වන ප‍්‍රියන්ත කුමාර මහතා ම්ලේච්ඡු ලෙස ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සියලූ අපරාධකරුවන්ට නීතිය උපරිමයෙන් ක‍්‍රියාත්මක කරන බවට පාකිස්තාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහතික වී තිබේ.

 ජනාධිපතිවරයා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් පාකිස්තාන අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ දෙරට අතර දිගුකාලීන මිත‍්‍රත්වය සහ විශ්වාසය කිසිවිටෙක පළුදුවීමට ඉඩ නොතබන බවයි.

 සිදුවීමට අදාළ සියලූ වීඩියෝ දර්ශන සහ තොරතුරු මේ වන විට පාකිස්තාන ආරක්‍ෂක අංශ විසින් ලබාගෙන ඇත. සැකකරුවන් 113 දෙනකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉතිරි පිරිස් ද සොයා අඛණ්ඩ මෙහෙයුම් ක‍්‍රියාත්මක බව පාකිස්තාන අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

 දීර්ඝ කාලයක් පුරා පාකිස්තානයේ සේවය කළ ශ‍්‍රී ලාංකිකයකු වූ ප‍්‍රියන්ත කුමාර මහතා කළමනාකරුවකු ලෙස ඉතා ඉහළ වෘත්තීය නිපුණත්වයක් පෙන්වූ අයෙකු බව පාකිස්තාන අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා සමඟ පවසා තිබේ.

 අපරාධකරුවන්ට දෙවියන් වහන්සේගෙන් සමාවක් නැති අතර, නීතියෙන් ද ඔවුන්ට කිසිදු සමාවක් හිමි නොවන බවත්, සාධාරණය ඉටුකර, වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබාදෙනු ඇති බවට ශ‍්‍රී ලංකා රජය සහ ජනතාව තබා ඇති විශ්වාසය උපරිමයෙන් තහවුරු කරන බවත් අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.


advertistmentadvertistment