ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නවලට සාර්ථක විසඳුම් ලබාදීමට ජනපතිට හැකිවෙලා

76

වජිර අබේවර්ධන (එජාප)

පසුගිය කාලය තුළ ජනතාවට තිබුණු ප්‍රධානම ප්‍රශ්නවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන සාර්ථක වැඩපිළිවෙළ තුළ විසඳුම් ලබාදීමට හැකි වී තිබෙන බවත්, ඉතිරි අනෙක් ප්‍රශ්න විසඳා ගැනීමටද සියලුදෙනාම එකතු වී එතුමාට සහයෝගය ලබාදිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, පා. ම. වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (29 දා) කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින්ය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

යම් යම් ප්‍රශ්න කිහිපයක් තවමත් තිබෙනවා. එකක් තමයි බඩු මිල වැඩි වීම. නමුත් ඔබ කලබල වෙන්න එපා. ඩොලරයේ මිල පාලනයෙන් ගිලිහීමත් සමඟ තමයි මේ තත්ත්වය ඇතිවුණේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙනයන වැඩපිළිවෙළත් සමඟ අනිවාර්යයෙන්ම ඩොලරයේ මිල පාලනය කිරීමට හැකියාව ලැබෙනවා. එවිට ඔබ බලාපොරොත්තුවෙන බඩු මිල අඩු කිරීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා ජනාධිපතිතුමා විසින් ජාත්‍යන්තරයේ සහයෝගයත් අරගෙන ක්‍රියාකරන්න කටයුතුකර තිබෙනවා.

මේවා කරන්න ඕන නිසා තමයි රනිල් වික්‍රමසිංහ නායකතුමා දිගින් දිගටම කියන්නේ අපි සියලුදෙනාම එකතු වෙමු කියලා. බලන්න පාර්ලිමේන්තුවේ එක ආසනයක් තිබිලා ඡන්ද 134 ක් ගත්තනේ. හේතුව තමයි නායකත්වය. ඒ කියන්නේ අපි සියලුදෙනාම අමාරුවෙ වැටිලා ; මේක ආරක්ෂා කරන්න, ජනතාව බලාගන්න, කන්න දෙන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ.

කොළඹ අධි ආරක්ෂිත ප්‍රදේශයක් හැටියට ගැසට් කරලා තිබෙනවා. සමහර අය කියනවා මෙය වැරදියි කියලා, සමහරු කියනවා හරි කියලා. ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නෙ නීතිය සාමය ආරක්ෂා කරන එකට. නීතිය සාමය කඩන්න කාටවත් බැහැ. සමහර අයට ඕන ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කරන්න. ඉතින් ඒකට සිංගප්පූරුවේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්න ඕන. සිංගප්පූරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කරන්න බැරි දේවල් තියෙනවා පුළුවන් දේවල් තියෙනවා.

සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අයිතිය තිබෙනවා. ඒවා කරන්න පුලුවන්. කන්න නැති නම් අඳින්න නැතිනම් සාධාරණව ඇවිල්ලා ; ඉස්සරවෙලා කියලා බලන්න ඕන, අහන්නෙ නැතිනම් හඬක් නගන එක අයිතිවාසිකමක්. ඒකට තහනමක් නැහැ. හැබැයි රටක් කඩාකප්පල් කරන්න බැහැ, රටක් විනාශ කරන්න බැහැ. ඒවා පාලනය කළ යුතුයි. ඉතිහාසය පුරා ඒවා පාලනය කරලා තිබෙනවා ජන නායකයින්. ඒවා පාලනය නොකර රටක් ඉදිරියට ගෙනියන්න බැහැ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment