අලුත් කමිටුව – කුසල්ට – වනිඳුට ඔටුණු පළඳයි – ටෙස්ට් නායකත්වය පස්සට

381

එක්දින සහ පන්දු වාර විස්සයි විස්ස යන තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පිළිවෙලින් කුසල් මෙන්ඩිස්ට හා වනිදු හසරංගට පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ (18 වැනිදා) තීරණය කර ඇත.

එම තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායමට මෑතකදී ටෙස්ට් තරඟාවලියක් නොමැති හෙයින් ටෙස්ට් කණ්ඩායමේ නායකයා පත් කිරීම පසුවට කල්දමා ඇත.

ටෙස්ට්, එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස නායකත්වයන් සඳහා පිළිවෙලින් ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස් සහ වනිදු හසරංග පත් කිරීමට යෝජනා ඉදිරිපත්ව තිබුණද ඊයේ දිනයේදී කුසල් සහ වනිදුගේ නායකත්වය ස්ථිර වී තිබේ.

එසේම කුසල්ගේ සහ වනිදුගේ උප නායකයා ලෙස චරිත් අසලංක පත් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ ප්‍රධානී සනත් ජයසූරිය මහතා සමග ඊයේ උදෑසන ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා හමුවූ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අනතුරුව ඊයේ සවස යළි රැස්වී ඉහත තීරණයන් ගනු ලැබ තිබුණි.

ඒ අනුව මෙතෙක් කල් ශ්‍රී ලංකා සීමිත පන්දු වාර ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ දසුන් ශානකගේ නායකත්වය අහෝසි වී යනු ඇත.

එක්දින සහ පන්දු වාර 20-20 නායකයා ලෙස කටයුතු කරමින් සිටි දසුන් ශානක පසුගිය එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ආබාධයට ලක්වීම මත එම තරගාවලියේ ඉතිරි තරග මෙහෙයවීමේ වගකීම කුසල් මෙන්ඩිස්ට පැවරිණි.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment