ඔස්ට්‍රේලියාවේදී පිස්සු නැටුවේ ධනිෂ්ක විතරද?

731

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඔස්ටේ්‍රලියාව බලා ගිය අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන ධනිෂ්ක ගුණතිලකට සිදු වූයේ ඔහු සිහිනෙකින්වත් නොසිතූ කරදරයකට මුහුණ පෑමටයි. ඒ එරට තරුණියක් සමග ඇතිකරගත් සිද්ධියක් සම්බන්ධයෙනි. එම සිද්ධිය ලෝකයම දනිති.

ධනිෂ්කට ඇප ලැබුණත් තවමත් මෙරටට පැමිණීමට නොහැකිය. ලබන වසරේ ජනවාරි 12 වැනිදා ඊළඟට නඩු දිනය වනතෙක් ඔහුට දැඩි ඇප කොන්දේසි මත එහි සිටීමට සිදුව තිබේ. එහිදී ධනිෂ්ක තනිවී නොමැත. ඔහුට මෙම නඩුව අවසන් වනතුරු සහයෝගය දැක්වීම සඳහා එරට සිටින ව්‍යාපාරික ප්‍රජාවක් ඉදිරිපත් වී ඇත. එපමණක් නොව ඔහුට දිනපතා පොලිසිය වෙත යෑම සඳහා දවස ගාණේ එක එක මාදිලියේ සුඛෝපභෝගී වාහන ලබාදීමට ද එහෙම පිරිසක් කටයුතු කර ඇත. තවද දිනපතාම ධනිෂ්කට ඇඳීම සඳහා ඉස්තරම්ම වර්ගයේ ඇඳුම්, කෑම බීම ආදි සියල්ල ද සපයා දීමට එම පිරිස ඉදිරිපත් වී ඇත.

ලෝකයේ සිටින සුපිරිතම ක්‍රීඩකයින් ධනිෂ්කට ඇමතුම් ලබාදී ඔහුගේ මානසිකත්වය ඉහළ දැමීමට කටයුතු කරයි. ඒ අනුව බලන කල ධනිෂ්කට සම්පූර්ණ නිදහස පමණක් නොමැතිව අනෙක් අවශ්‍ය සෑම දේම උපරිමයෙන්ම ලැබෙයි. ඒ අතින් බලන කල ධනිෂ්ක වාසනාවන්තයෙකි.

එහෙත් තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වූ විශිෂ්ට ගණයේ ක්‍රීඩකයෙක් වූ ධනිෂ්ක ගුණතිලක දැනටමත් තමන් විසින්ම තමාගේ අනාගතය විනාශ කරගෙන හමාරය. ඉදිරියේදී එයින් ගොඩ ඒම සඳහා ඔහුටම විශාල කැපකිරීමක් සිදු කළ යුතුව ඇත. එයින් ප්‍රධානම දෙය වන්නේ තමන්ගේ විනය සදා ගැනීමයි. එම විනය නොමැතිව ඔහු කොතරම් දක්ෂ ලෙස ක්‍රීඩා කළත් ඵලක් නොවනු ඇත. එම නිසා අපි ද ධනිෂ්ක ගුණතිලකගෙන් ඉල්ලා සිටින්නේ ජීවිතයට මෙය පන්නරයක් කරගෙන සියලු වැරදි සාදාගෙන යළි නැඟී සිටින ලෙසයි.

ධනිෂ්ක ගුණතිලක එලෙස පිස්සු කෙළිද්දී චාමික කරුණාරත්නට ද එම තරගාවලියෙන් පසු විනය පරීක්ෂණයක් පැවැත්විණි. එහිදී ඔහුට එල්ල වූ චෝදනාව වූයේ කැසිනෝ ශාලාවක් තුළ දී පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් පිළිබඳවයි. ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ශ්‍රී ලංකා කිකට් ආයතනය ඔහුට සියලුම ආකාරයේ තරග සඳහා වසරක අත්හිටු වූ තරග තහනමක් පැනවූවේය. එයට අමතරව මෙම ලිපිය ලියන මොහොත වනවිටත් පැවැත්වෙන ඇෆ්ගනිස්තාන තරගාවලිය සඳහා ද ඔහුව තෝරා ගත්තේ නැත.

ඔස්ට්‍රේලියාවේදී පිස්සු නැටුවේ ධනිෂ්ක විතරද?

එහෙත් අපට දැනගන්නට ලැබී ඇති තොරතුරුවලට අනුව චාමික කරුණාරත්න ඔස්ටේ්‍රලියාවේදී ගැටුමක් ඇති කර ගත්තේ කැසිනෝ ශාලාවක් තුළ දී නොව ආපනශාලාවක් තුළදී ය. එම අවස්ථාවේදී චාමික කරුණාරත්න ඇතුළු තවත් ක්‍රීඩකයන් නව දෙනෙකු එහි සිට තිබේ. පිටතින් පැමිණි පිරිසක් එම ක්‍රීඩකයින්ගේ ඡායාරූප ගැනීමේදී ඇති වූ ආරවුලක් මත මෙම ගැටුම සිදු වී තිබේ. ඇත්තටම ඒ ගැටුමක් නොව බහින්බස් වීමකි. එහිදී චාමික සමග සිටි බෝන් එගේන් නමැති ආගමික කල්ලියට සම්බන්ධ ක්‍රීඩකයෙකු මෙම සිදුවීම කැසිනෝ ශාලාවක් තුළ සිදු වූ ගැටුමක් යැයි පවසමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මුදල් ගෙවා ප්‍රචාරයක් ලබාදී ඇත. එයට ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියකු ද සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

චාමික කරුණාරත්නට එසේ කිරීමට හේතු වී ඇත්තේ ඔහු දැඩි බෞද්ධයෙක් වන බැවිනි. ඒ සඳහා කඩිනම් පරීක්ෂණයක් පවත්වා ඔහුට දඬුවම් ලබා දී ඇත්තේ ද ඉහත සඳහන් කළ ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියාගේ සහ බෝන් එගේන් ආගමික කල්ලියේ බලපෑම මත බවට ද තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

එවැනි පව් එලෙස ඔවුන්ගේ පිටින් යද්දී එම ලෝක කුසලාන සංචාරය තුළදී තවත් ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම විනය විරෝධී ලෙස හැසිරී තිබුණි. ඒ සඳහා මේ වනතුරු කිසිදු පරීක්ෂණයක් පැවැත්වූයේ නැත. ඒවායේ සමහර විස්තර විටින් විට ඡායාරූප සමඟින් විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පවා හුවමාරු විය. ක්‍රීඩකයන් පමණක් නොව ඇතැම් නිලධාරීන්ද තම රාජකාරි පසෙක දමා විනය විරෝධී ලෙස හැසිරී තිබුණි.

සමහර ක්‍රීඩකයින් තරගයට පෙර දින ද එරට වෙසෙන තරුණියන් සමග මත්පැන් බී විනෝද වෙමින් තිබුණි. තවත් සමහරු කැසිනෝ ශාලා, නයිට් ක්ලබ්වල කාලය ගත කර තිබුණි. එයට අමතරව එරට වෙසෙන තරුණියන්ගේ නිවෙස්වලට පවා ගොස් සමහර ක්‍රීඩකයින් මත්පැන් පානය කරමින් තම ශාරීරික අවශ්‍යතාවන් පවා ඔවුන්ගෙන් ඉටු කර ගෙන තිබුණි. ක්‍රීඩකයින් පමණක් නොව සමහර නිලධාරීන්ද තමන්ගේ රාජකාරි පසෙකලා එලෙස විනය විරෝධී ලෙස හැසිරී තිබුණි.

අපේ සමහර ක්‍රීඩකයින් එම සංචාරය තුළදී සිදු කළ සිදුවීම් පිළිබඳ නම සඳහන් කිරීමට අකමැති ඒත් ක්‍රිකට්වලට දැඩි ලෙස ආදරය කරන, සමහර ක්‍රීඩකයින් පවා අඳුරන එරට පදිංචි ශ්‍රී ලාංකිකයකු අප හට මෙලෙස පැවසුවේය.

“මම ඔස්ටේ්‍රලියාවේ පදිංචියට ඇවිල්ලා අවුරුදු තිහක් වෙනවා. මම මෙහෙ බිස්නස් කරන්නේ. මම කොතරම් කාර්යබහුල වුණත් මෙහෙ පැවැත්වෙන හැම තරගයක්ම වාගේ බලනවා. අපේ ක්‍රිකට්වලට මම ඒ තරම් ආදරෙයි.”

“ඒ කාලේ සෙල්ලම් කරපු ගොඩක් ක්‍රීඩකයෝ මගේ හොඳම යාළුවෝ. ඔස්ටේ්‍රලියාවේ ආවම අනිවාර්යෙන් අපේ ගෙදර එනවා. සමහර අය නැවැතිලත් ඉන්නවා. හැබැයි ඒ කිසිම ක්‍රීඩකයෙක් විනය විරෝධී ලෙස හැසිරුනේ නැහැ. සමහරු මත්පැන්වත් බිව්වේ නැහැ, තරග සෙල්ලම් කරන්න තියෙන නිසා. ඒ තරම් කැප වීමෙන් තමයි ඔවුන් ක්‍රීඩා කළේ.”

“ඒත් දැන් තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. අපේ සමහර තරුණ ක්‍රීඩකයෝ තරග ගැන අමතක කරලා විනෝද සංචාරයක් ආව වගේ හැසිරුනේ. ක්‍රීඩකයෝ වගේම සමහර නිලධාරිනුත් මේකට වගකියන්න ඕනා. ඒගොල්ලන්ගෙ වැරදි නිසා තමයි ක්‍රීඩකයෝ මෙච්චර පිස්සු කෙළියේ.”

“ධනිෂ්කගේ කේස් එක හැමෝම දන්නවනේ. ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. තව අපේ සමහර ක්‍රීඩකයින් හොඳටම පිස්සු නැටුවා. මෙහෙ ඉන්න තරුණියන්ගේ ගෙවල්වල ගිහින් කෑවා බිව්වා පමණක් නොවෙයි අනෙක් අවශ්‍යතාවයනුත් ඉටුකරගත්තා. ඔවුන් සමඟ කාපු බීපු පින්තූර පවා මට ලැබිලා තියෙනවා. මේ සේරම කළේ තරග පවතින අතරතුර.”

“මම කියන්නේ නැහැ ඒ ක්‍රීඩකයින්ට කන්න බොන්න එපා කියලා. ඒත් ඒගොල්ලෝ ජාතික තලයේ ඉන්න ක්‍රීඩකයෝ. ඒගොල්ලො නියෝජනය කරන්නෙ අපේ රට. කීදෙනෙක් ඒගොල්ලො ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවද? ඒත් සමහර ක්‍රීඩකයින්ට ඒ ගැන කිසිදු වගකීමක් නෑහැ. ඔවුන් තනිකරම නැටුවේ පිස්සු. මෙවර තරග පරදින්නත් ඒක ලොකු හේතුවක් වුණා.”

“ඒ වගේම තමයි සමහර නිලධාරීන්. සමහර අය එන්න ඉස්සෙල්ලම මෙහෙ කෙල්ලන්ව සෙට් කරගෙන ඉන්නේ. මේ සේරම මම කියන්නේ වගකීමෙන්. ඕනනම් ඒ සඳහා ඉදිරිපත් කරන්න සාක්ෂිත් තියෙනවා. අපේ ක්‍රිකට් දියුණු කරන්න පුළුවන් හැබැයි ඒකට ක්‍රීඩකයෙක්ගෙ විනය හදන්න ඕනා. ක්‍රීඩකයන් තුළ විනයක් නැති නම් කොච්චර දක්ෂ වුණත් වැඩක් නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි ධනිෂ්ක ගුණතිලක.”

“තව එකක් කියන්න ඕනා හැබැයි සේරම පවුගියේ ධනිෂ්කගේ පිටින්. මෙම සංචාරය තුළ පිස්සු නටපු ක්‍රීඩකයන් සහ නිලධාරීනුත් හිටියා මම කියන්නේ ඒ අය ගැනත් විධිමත් පරීක්ෂණයක් පවත්වන්න.”

ඔහු කියන කතාවේ සත්‍යයක් ඇත. එම සංචාරය තුළ දී ධනිෂ්ක ගුණතිලකට අමතරව තවත් ක්‍රීඩකයන් කීහිපදෙනකු විනය විරෝධී ලෙස හැසිරී තිබුණි. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඒවායේ සමහර තොරතුරු, පින්තූර පවා හුවමාරුවෙමින් තිබුණි. එහෙත් එම ක්‍රීඩකයන්ට කිසිදු පරීක්ෂණයක් පැවැත්වූයේ නැත. එයට ප්‍රධානම හේතුව වී ඇත්තේ එම ක්‍රීඩකයින් බෝන් එගේන් ආගමික කල්ලියේ සාමාජිකයින් බවයි. එලෙස බලන කල එම ආගමික නිකායට සම්බන්ධ ක්‍රීඩකයින් විනය විරෝධීව හැසිරුණත් ඔවුන්ට කිසිදු බලපෑමක් නොමැත. ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ තරම්ම වළපල්ලට ගොස් තිබේද?. වගකිවයුතු නිලධරයනි, මේ පිළිබඳ සොයා බලා විධිමත් පරීක්ෂණයක් පවත්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආරක්ෂා කරගැනීමට පියවර ගනු මැනවි. ක්‍රිකට් ලෝලීන්ගේ පැතුම ද එයයි.

ඔස්ට්‍රේලියාවේදී පිස්සු නැටුවේ ධනිෂ්ක විතරද?

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment