විශේෂඥ වෛද්‍ය චමල් සේවයේ පිහිටුවීම සෞඛ්‍ය අධ්‍යෂ ජනරාල් කරඅරී

88

දරුවන්ගේ මන්දපෝෂණය ගැන හෙළි කිරීම නිසා වැඩ තහනමට ලක්ව සිටින වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා නැවත සේවයේ පිහිටුවන ලෙස සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ මහතා දී තිබෙන උපදෙස් මෙතෙක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ක්‍රියාත්මක කර නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ප්‍රමාණවත් කාල සීමාවක් ඇතුළත අවසන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත්වීම මත වත්මන් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා යළි සේවයේ පිහිටුවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාට උපදෙස් දී ඇත.

ඒ අනුව සෞඛ්‍ය ලේකම්වරයා විසින් නිර්දේශ සටහන් කර රාජ්‍ය සේවා කොමිසම වෙත ලේඛන යවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත ලබාදී ඇතත් ඔහු විසින් අදාළ ලේඛන රාජ්‍ය සේවා කොමිෂන් සභාවට මෙතෙක් යොමුකර නැතැයි ද එම ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ සෞඛ්‍ය ලේකම්වරයා විසින් අදාළ ලේඛන පසුගිය දෙසැම්බර් 04 වැනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත ලබාදීමට කටයුතු කර ඇති බවය. මේ සම්බන්ධයෙන් විමසීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය ව්‍යාර්ථ විය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment