පොලිස් විශේෂ කාර්ය බළකාය ස්ථාපිත කර වසර 40ක් පිරිම නිමිත්තෙන් දකුණු පළාත් විශේෂ කාර්ය බළකා සෙබළුන් එක්ව කතරගමදී කිරිවෙහෙර සෑ රදුන් වෙත කප්රුක් පූජාවක් පවත්වා විශේෂ රණවිරු උපහාර උත්සවයක් ඊයේ (01) පෙරවරුවේ පැවැත්විණි.
විශේෂ කාර්ය බළකායේ අණදෙණ නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිතීඥ වරුණ ජයසුන්දර, නියෝජ්‍ය පොලිස්පති ඩී.ඩී.ඩී.කේ. හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගේ උපදෙස් මත හම්බන්තොට ගාල්ල කලාප අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.යූ. නිශාන්ත ද සිල්වා මහතාගේ මුලිකත්වයෙන් හම්බන්තොට උඩවලව ප්‍රාදේශීය අණ දෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී වෑවිට විදාන මහතා ඇතුළු හම්බන්තොට ,ගාල්ල සියළුම සේනාංක නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම සැමරුම් උත්සවය හා ආගමික වතාවත් සිදු කෙරුණි.
සියළු නිලධාරීන් එක්ව 31 වන දින රාත්‍රියේ කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය කොබවක ධම්මින්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි කිරිවෙහෙර සෑ රදුන්ට කප්රුක් පුජාවක් පවත්වා මියගිය සියළු රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීම සිදුකෙරුණු අතර දැනට ආබාධිත තත්වයේ සිටින රණවිරුවන්ට හා සේවයේ නිරත සියළු රණවිරුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමද මෙහිදී සිදු කෙරුණි. මීට සමගාමීව පැවති රණවිරු උපහාර උත්සවය කතරගම විශේෂ කාර්ය බළකා කඳවුරේදී 01 දින පෙරවරුවේ පැවැත්විණි.
මත්තල – දිලීප් එන්. ජයසේකර