වෙනස් නොවන රාජ්‍ය නිලධාරීන් වෙනස් කිරීම මැයි මාසයෙන් පසු ආරම්භ කරනවා

4

ජනපති කුරුණෑගලදී කියයි

රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන්ට වෙනස් වීම සඳහා ලබා දී තිබූ මාස 06ක කාලය මැයි මස අවසන් වන බැවින් වෙනස් නොවන රාජ්‍ය නිලධාරීන් වෙනස් කිරීම එතැන් සිට ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රාජ්‍ය සේවයේ පුරප්පාඩු ඇති රැකියා සඳහා තෝරා ගැනීම් කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව සිදු කරන බව ද පෙරේදා (20දා) කුරුණෑගල නගරයේ පැවති ජන හමුවකදී ජනාධිපතිවරයා කියා සිටියේය.

රජයේ රැකියා සඳහා දේශපාලකයන් පසුපස ගිය කාලය අවසන් වී ඇතැයි කියා සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

“අපිට ශක්තිමත් රාජ්‍ය සේවයක් ඕනෑ. වැටුප් වැඩිවීමට මේ වසරේ රුපියල් කෝටි එකළොස් දාහක් අවශ්‍යව තිබෙනවා. එය ලබන වසරටත්, 2027 ටත් එලෙසමයි. මේ වැටුප් වැඩිවීමට විතරක් අපි කෝටි තිස්තුන් දහසක් වැය කරනවා.

ශක්තිමත් රාජ්‍ය සේවයක් වෙනුවෙන් පරණ වැඩසටහන් සමග ඉදිරියට යන්න බැහැ. ඈලි මෑළි, පැරණි ගතානුගතික වැඩසටහන් එක්ක වෙනසක් සිතන්න බැහැ. ඒකයි මාස 06ක කාලයක් ලබා දුන්නේ. නමුත් වෙනස් විය නොහැකි නම් මැයි මාසයේ සිට අපි වෙනස් වීම කරනවා.”

සුජීව තත්සර


advertistmentadvertistment