වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසල් මස්, මාළු කඩ රේස් බුකි දින 3ක් වැසේ

67

රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසල්, මස් මාංස අලෙවි සල් ඇතුළු ස්ථාන කිහිපයක් දින තුනක් වසා තැබෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

මේ අනුව මැයි 12,13 හා 14 යන දිනවලදී දිවයිනේ පිහිටි සියලු සුරාසල්, මස් මාංස අලෙවි සල්, මස් පිණිස සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තබන බව එම අමාත්‍යාංශ ලේකම් අලෝක බණ්ඩාර මහතා චක්‍රලේඛයක් නිකුත්කරමින් කියා සිටී.

ශ්‍රී බුද්ධ වර්ෂ 2569ක් වූ 2025 වර්ෂයේ වෙසක් සතිය මැයි මස 10 සිට මැයි 16 දින දක්වා ප්‍රකාශයට පත්කර ඇත. කැබිනට් මණ්ඩලය විසින් ගත් මෙම තීරණ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් හා රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කර ඇත.

සුරාසල් වසා තබන කාලයේ බලපත්‍ර නීති කඩ කරන ස්ථාන සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ ‘1913’ ක්ෂණික අංකයට හෝ 0112877688 අංක වෙත දැනුම් දෙන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර මහතා ඉල්ලා සිටී.

චමින්ද සිල්වා


advertistmentadvertistment