වෙසක් පොහෝදා කැලණි විහාරේ කියවමුද?

240
කැලණි විහාර බිතු සිතුවමක් චිත්‍රය සෝලියස් මෙන්ඩිස්

අදහස් දැක්වීමක් පමණි

බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පසළොස්වක පොහොයදා මහියංගණයටද පස්වෙනි වස බක් අමාවක් පොහොයදා නාගදීපයටද අටවැනි වස වෙසක් පුර පසළොස්වක පොහොයදා කැලණියටද බුදුරජාණන් වහන්සේ වැඩම කළ බව මහාවංශයේ පළමු පරිච්ඡේදයේ සඳහන් වෙයි. අද ඉන්දියාව නමින් හැඳින්වෙන පෙර භාරතය හෝ දඹදිව නමින් හැඳින්වුණ ලක්දිවට ආසන්නවම තිබෙන ලංකාව මෙන් 65 ගුණයක් පමණ විශාල දේශයේ සිට ගෞතම බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ බව එම වාර්තා මඟින් තහවුරු කරයි. එවැනි ඓතිහාසික වාර්තා මෙන්ම භාරතයෙහි අසෝක රජුගේ ටැම්ලිපි හා සෙල්ලිපිවල සඳහන් වන ඓතිහාසික සටහන්ද විකෘති කර ලියන ලද ලේඛන ලෙස හඳුන්වමින් අශුද්ධ වූ බුද්ධියක් ඇති අය ගෞතම බුදු හිමියන් ලක්දිව ඉපදුන බව සඳහන් කිරීමේ කූට ව්‍යාපාරයක් ගෙන යමින් සිටිති. මෙම කූට ව්‍යාපාරිකයෝ ජිනීවා සමුළුව දක්වාම එම මිථ්‍යා මත ගෙන යෑමට නිර්ලජ්ජීව ක්‍රියාකර ඇත. එම මතවාදයට එරෙහිව ක්‍රියා කරන අයට තර්ජන ගර්ජන පවා කරමින් ඔවුහු ත්‍රස්තවාදීන් ලෙස කටයුතු කරමින් තම මතවාදය තහවුරු කිරීමට ඉතා විශාල ලෙස මුදල් ද වියදම් කරති. තම දක්ෂතා මඟින් ඉහළට ගිය එහෙත් ප්‍රඥාව දියුණු නොකළ භික්ෂුන් මෙන්ම වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, සිවිල් නිලධාරීන් මෙන්ම දේශපාලකයින් ද මෙම වැරදි මතවාදයේ එල්ලී සිටිති. මොවුහු ධර්ම විකෘතිය මෙන්ම ශාසනික ඉතිහාස විකෘතියක්ද කරති. ඔවුන් පිටුපස ශ්‍රී ලංකාවට හා ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ අනන්‍යතාවට එරෙහිව ක්‍රියාකරන විදේශ බලවේග ද සිටින බවද සැකයක් නැත.

දැනට පවතින දේශපාලනික, ශාසනික හා සමාජයමය ක්‍රියාකාරකම් අනුව අප රටේ අනන්‍යතාවට එනම් සිංහල බෞද්ධකමට නිසි තැනක් ලැබෙන බව පෙනෙන්ට නැත. ඒ අතරට ධර්ම විකෘතිකාරයින් හා ශාසන විකෘතිකාරයින් පැමිණ එම අනන්‍යතාවට තව තවත් හානි කරති. බුදුරජාණන් වහන්සේ අප රටට වැඩම කළේ අනාගතයේ තම ශාසනය පවතින රට බව දැන අපට ආශීර්වාද කිරීමටයි. එම බුද්ධාශිර්වාදය තරම් වටිනා ආශිර්වාදයක් අපට, අපේ රටට තවත් නොමැත. වසරෙන් වසර බුද්ධාගමනයන් සිහිපත් කර බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරගැනීමට මඟහැදීම රට කරවන ඇත්තන්ගේ මෙන්ම ශාසනභාරධාරි මහ තෙරුන් වහන්සේලාගේ ද අරමුණ විය යුතුය. ඒ අනුව බුදු හිමියන්ගේ පළමු ගමන සිදුවූ මහියංගන මහ සෑය මුල්කරගෙන සෑම වසරකම දුරුතු පුර පසළොස්වක පොහොයදා උත්සව හා පිංකම් පැවැත්විය යුතුය. උන්වහන්සේ දෙවැනි වරට වැඩි නාගදීපයේ සැමරීම් කටයුතු බක් අමාවක පොහොයදා නාගදීපය මුල් කරගෙන කළ යුතුය. තුන්වැනි වර බුදුරදුන් වැඩම කළ කැලණි විහාරය මුල් කරගෙන සෑම වසරකම වෙසක් පුර පසළොස්වක පොහොයදා උත්සව හා පින්කම් කළ යුතුය. එහෙත් වර්තමානයේ එවැනි දේ සිදුවන බවක් නොපෙනේ.

වෙසක් පොහොය ලෝක බෞද්ධ ජනයාට වැදගත් වනුයේ බුදු උපත, බුද්ධත්වයට පත්වීම හා පිරිනිවන් පෑම යන බුද්ධ චරිතය හා බැඳුණු දිනය නිසයි. එහෙත් ශ්‍රී ලංකාවාසි සිංහල බෞද්ධයින්ට වෙසක් පොහොය විශේෂ වැදගත්කමක් ඇති පොහොයක් ලෙස සැලකිය හැක්කේ ඉහත දැක්වූ බුදු තෙමඟුලට අමතරව බුදුන් වහන්සේ තුන්වැනි වර අප රටේ කැලණියට වැඩම කිරීමයි. පළමු හා දෙවැනි වර උන්වහන්සේ වැඩම කළේ තමන් වහන්සේගේම තීරණයන් අනුවයි. තුන්වන වර වැඩම කළේ එදා කැලණියේ සිටි ප්‍රදේශාධිපතියෙකු වූ මණිඅක්ඛිත නමැති නාග ගෝත්‍රික නායකයාගේ ආරාධනාවෙනි.

මහාවංශයේ සඳහන් වන පරිදි ඔහු එම ආරාධනාව පළමුවෙන් සිදු කළේ බුදුහිමියන් නාගදීපයට වැඩි අවස්ථාවේදීය. එදා සිට වසර 3ක් ගත වෙද්දි යළිත් තම ආරාධනාව බුදුහිමියන්ට සිහිපත් කළ බව මහාවංශයෙහි සඳහන් වෙයි. අපේ රටේ අපේ නායකයෙකුගේ ආරාධනාවෙන් බුදුන් වහන්සේ තුන්වැනි වර කැලණියට වැඩම කිරීම අපට අපේ රටට විශේෂ වැදගත් කරුණකි, අභිමානයකි.

මෙසේ බුද්ධාගමනයන් පිළිබඳව වැදගත්කම් සිහිකොට එම ආගමනයන් සිදුවූ ස්ථාන මුල් කරගෙන වාර්ෂිකව උත්සව හා පින්කම් කිරීමෙන් මෙරට බෞද්ධයන් තුළ බුද්ධාලම්භන ප්‍රීතියක් ඇතිවීම මෙන්ම අධ්‍යාත්මික ආර්ථික දියුණුවක් ඇති කරගැනීමටද මඟ සැලසෙයි. රට දැය හා සමය ගැන සිතා ක්‍රියාකරන ශාසනභාරධාරි මහ තෙරුන් වහන්සේලා මෙන්ම පාලකයින්ද මේ පිළිබඳව අවධානය යොමු කර ක්‍රියාකළ යුතුව ඇත. එසේ සිතා ක්‍රියා නොකර පෞද්ගලික අරමුණු මත ක්‍රියා කිරීම නිසා දිනෙන් දින රට අගාධයට ඇද වැටෙමින් පවතී. සිංහල ජාතියද ජාතිකත්වයෙන් බැහැර වී කටයුතු කිරීමට පෙළඹී ඇත. එවැනි තත්ත්වයක් හමුවේ බුද්ධ ශාසනයේ අනාගත යහපැවැත්ම පිළිබඳව ද විශ්වාසයක් තැබිය නොහැක.

බුදුදහම දැන ඒ අනුව පිළිපැදීමෙන් බුදුරදුන් අපේක්ෂා කළ නිවන් සුව ලබාගත හැක. දහම දැන වටහා ගැනීමට නම් බුදු සිරිත දැනගත යුතුය. කුසල් දහම් මොනවාදැයි වටහාගෙන එම කුසල් කළ යුතුය. උගතුන් හා බුද්ධිමතුන් යයි පෙනී සිටින සමහරු තමන් පිළිගන්නේ බුද්ධාගම නොව බෞද්ධ දර්ශනයයි මහත් ආඩම්බරයෙන් කියති. බුදුන් නොවැද පිළිවෙත් නොකර ඒවාට ගරහමින් බෞද්ධ දර්ශනයක් දැනගත හැක්කේ කෙසේද? දහම නොදන්නා ඒ ගැන නොතකා දිවිපෙවෙත ගෙන යන බෞද්ධයන්ගෙන් සසුනේ පැවැත්මට සිදුවන හානියට වඩා හානියක් සාමාන්‍ය බොදු පිළිවෙත් නොතකා ඒවාට අනුගත නොවී බෞද්ධ දර්ශනයක් ගැන කතා කරන බක පණ්ඩිතයන්ගෙන් සිදුවන බව බොහෝ දෙනා නොදැනීම අභාග්‍යයකි. ඛේදවාචකයකි.

පළමුව වැරදිවලින් වැළකී සිටීම කළයුතු බව බුද්ධ දේශනාවේ සඳහන් වෙයි. සබ්බ පාපස්ස අකරණං ආදී සියලු බුදුවරුන්ගේ දේශනාවෙන් කියන්නේ ද එයයි. වැරදිවලින් නොවැළකී බෞද්ධ දර්ශනයක් ගැන කතා කිරීම වැඩකට නැති දෙයකි. වෙසක් පොහොයදා බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළා යයි යන සිතිවිල්ල රටවැසි සියලු බෞද්ධයන් තුළ ඇති කිරීමට වෙසක් උත්සව හා පින්කම් කැලණි විහාරය මුල් කරගෙන සිදු කිරීම අවශ්‍ය වේ. එවිට පුළුවන් හැම කෙනෙක්ම වැරදිවලින් වැළකී කැලණි විහාරය වන්දනා කරගැනීමට වෙසක් පොහොයදා පැමිණෙනු ඇත. එසේ පැමිණීමට නොහැකි බෞද්ධයින් අපි කෙරෙහි අනුකම්පාවෙන් බුදු තෙමඟුල සිදුවූ වෙසක් පොහොය දිනක බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළ සේකයි බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරගෙන වැරදිවලින් වැළකී ක්‍රියාකිරීමට පෙළඹෙනු ඇත. මෙවන් පහන් සිතුවිලි මෙරට බෞද්ධයන් තුළ ඇති කිරීම ඔවුන් වැරදිවලින් වැළකී කුසල් දහම්හි යෙදීමටත් ඔවුන්ගේ ආර්ථික දියුණුව ඇති කරගැනීමටත් හේතුවනු ඇත. ‘දුරුතු පොහොයදා කැලණි විහාරේ’ යයි නොකියා නොසිතා ‘වෙසක් පොහොයදා කැලණි විහාරේ’ යයි සිතීමට හා කීමට මෙරට වැසි බෞද්ධයින් සිතට ගත යුතු බව අවධාරණය කරමු.

● පූජ්‍ය බෙංගමුවේ නාලක අනුනායක හිමි

advertistmentadvertistment
advertistmentadvertistment