ධාතුන් වහන්සේලා තිස්හය නමක්
චූඩා මාණික්‍යයක් හා බුදු පිළිම හතරක් සොරු ගනිති
වෙසක් සඳ එළියෙ වෙහෙරගල රජමහ විහාරයේ ධාතු මන්දිරය කඩා ධාතුන් වහන්සේලා තිස්හය නමක්, චූඩා මාණික්‍යයක්, බුදු පිළිම හතරක් සොරාගෙන ඇති බව නිකවැරටිය පන්සියගම පොලිසිය පවසයි.
පෙරේදා (17දා) අලුයම් කාලයේ මෙම සොරකම සිදුවී ඇති බවට අනාවරණය වී ඇති අතර ධාතු මන්දිරයේ කරඬු 8ක් මැද තැන්පත් කර තිබූ මහ රහතන් වහන්සේලාගේ හා සර්වඥ ධාතුන් වහන්සේලා තිස්හය නමක් ද සොරකම් කර ඇති බවට තහවුරු වී ඇත. ධාතු මන්දිරයේ තැන්පත් කර තිබූ පිත්තලවලින් නිම කරන ලද බුදුපිළිම වහන්සේලා හතර නමක් ද විහාරයේ දේවාලවල තිබූ පඬුරු පූජා ලෙස කරන ලද රුපියල් හැටහත් දහසක පමණ මුදලක් ද ඒ අතර තිබූ බවට පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
වෙහෙරගල රජමහ විහාරය කඩා එහි තිබූ වටිනා දේපොළ සොරාගත් පුද්ගලයන් සොයා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පන්සියගම පොලිසිය පවසයි.
මෙම ධාතු මන්දිරය හා එම රජමහා විහාරයේ දේවාලවල වටිනා ධාතුන් වහන්සේලා හා වටිනා පිළිම හා දේපොළ සොරා ගැනීම පිළිබඳව අදහස් දැක්වූ වෙහෙරගල පුරාණ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කලවානේ විජිතරතන හිමිපාණන් මෙසේ පැවසූහ.
මෙම ක්‍රියාව පිළිබඳව දැනගැනීමත් සමග මහත් කම්පනයටත් කලකිරීමටත් පත්වුණා. මේක කුමන්ත්‍රණකාරී ක්‍රියාවක්. මේක සමස්ත බෞද්ධ ශාසනයටම කළ අපරාධයක්. බුදුන් වහන්සේගේ හා මහ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා සොරකම් කරන තත්ත්වයටම පත්වෙලා. මේක සොරකමකට විතරක් සීමා වෙන්නේ නෑ. මේක සංඝයා වහන්සේලාගේ ජීවිතවලටත් තර්ජනය වන දෙයක්. සමහර විට මේ සොරුන් මා මරා දාන්නත් ඉඩ තිබුණා. මේක සමස්ත සංඝයා වහන්සේලාගේම ආරක්ෂාව ගැන හිතන්න ඕන අවස්ථාවක්.
පරම්පරාවෙන් පරම්පරාවට ආරක්ෂා කරගෙන ආ ධාතුන් සොරකම් කිරීමට තරම් සමාජය පිරිහිලා. අපි මේවා ආරක්ෂා කරගෙන පවත්වාගෙන යන කැප කිරීම් ගැන මහ නායක හිමිවරුන්ට අවබෝධයක් නෑ.
සමහරු දැන් පුරුදු වෙලා ඉන්නවා විහාරවල ඇති ධාතුන් වහන්සේලා සල්ලිවලට ගන්න. මේ ප්‍රවණතාවය පුරාණ විහාරවලට තර්ජනයක්. ආරක්ෂාවට තර්ජනයක්. මේ පිළිබඳව බුද්ධශාසන අමාත්‍යාංශය කටයුතු කළ යුතුයි.
කවුරුත්ම ශාසනයේ ආරක්ෂාව ගැන හිතන්නේ නෑ. ඈත ගම්මානවල ඇති විහාරවලට ආරක්ෂාවත් නෑ. හාමුදුරුවරු ශාසනයෙන් පිටමං කරන්න හැමෝම කටයුතු කරනවා. එහෙත් ශාසනයට බඳවා ගන්න කටයුතු කරන්නෙ නෑ. දවසකට 10 දෙනෙක් සිවුරු හැර යන බවට ලිඛිතව ඉදිරිපත් කරනවා.
බුද්ධශාසනයේ ආරක්ෂාව පිළිබඳව හැමෝම අවදියෙන් කටයුතු කළ යුතු වෙනවා යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
නෝමන් පලිහවඩන සහ ධම්මික සල්වතුර