වේ ප්‍රෝටීන් බෝතල් 13ක ඇවිත්: කෝටි 18ක කුෂ් කොකේන් ගුවන් තැපෑලෙන් ඇවිත්

202

එවලා තිබුණේ කඩවත කොළඹ බොරු ලිපිනවලට

කායවර්ධන ක්‍රීඩකයින් තම මස්පිඩු වර්ධනය කර ගැනීම සඳහා භාවිතා කරන ‘වේ ප්‍රෝටීන්’ අඩංගු බෝතල් 13 ක් තුළ අසුරා, රුපියල් දහ අට කෝටි පනස් ලක්ෂයක් වටිනා ‘කුෂ්’ නමැති ගංජා තොගයක් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් පාර්සල් සේවය ඔස්සේ සීදුව පිහිටි කළම්බු කාර්ගෝ එක්ස්ප්‍රස් නමැති පෞද්ගලික බන්ධිත ගුදම වෙත එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (28 දා) දින පස්වරුවේ සොයා ගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය පාර්සල් 06ක් ලෙස සකස් කර කැනඩාව සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට කඩවත සහ කොළඹ පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත එවා තිබුණි.

මෙම පාර්සල් මීට මාසයකට පමණ පෙර මෙම පෞද්ගලික බන්ධිත ගුදම වෙත ලැබී තිබුණු අතර, ඒවා භාර ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවීම නිසා, එම පාර්සල් විවෘත කර පරීක්ෂා කර බැලීමට පියවර ගෙන තිබූ අතර, මෙම ‘වේ ප්‍රෝටීන්’ බෝතල්වල සඳහන් බරට වඩා වැඩි බරක් පැවතීම නිසා ඒවා ගලවා පරීක්ෂා කර බැලීමේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වී තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ ‘කුෂ්’ නමැති ගංජා කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 117 ක ප්‍රමාණයක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 30 ක ප්‍රමාණයක් තිබී අත්අඩංගුවට ගෙන තිබුණි.

මේවා වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.

කටුනායක ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment