ශ්‍රීලනිප වැ.බ. සභාපති ධුරය වළක්වමින් විජයදාසට පැනවූ වාරණය දික් කරයි

57

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ජුනි මස 27දා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කළේය.

මෙම නඩුව ඊයේ (27දා) කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර තමා මේ හා සමාන තවත් නඩුකරයක් විභාග කරන බැවින් මෙම නඩුව කොළඹ දිසා අධිකරණයේ අංක 07 අධිකරණ ශාලාවේ විනිසුරුවරයා වෙත යොමු කරන බව දිසා විනිසුරු විතාන මහතා කියා සිටියේය.

ඉන් අනතුරුව කොළඹ දිසා අධිකරණයේ අංක 07 ශාලාවේ අතිරේක දිසා විනිසුරුවරයා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය. එහිදී මෙම නඩුවට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදුන් විනිසුරුවරයා නඩුව නැවත ජුනි මස 27 දා කැඳවන ලෙස නියෝග කළේය.

අමාත්‍යවරුන් වූ ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන් විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment